Thursday, January 9, 2014

Tongue

දිව.


ලාඕසේ ඇඳුරුතුමන් මරණමංචකයේ සැතපී සිටියා. එතුමන්ගේ කැඳවීමට අනුව එතුමන්ගේ හොඳම අනුගාමිකයන් පස්දෙනා අවසන් වරට එතුමන් වටා රැස් වී සිටියා. තමන් මේ ගතකරන්නේ ජීවිතයේ අන්තිම හෝරා කීපය බව අනුගාමිකයන්ට පැවසූ ලා ඕසේතුමා, එක් එක් අනුගාමිකයා බැගින් ළඟට කැඳවා ඔවුන්ගේ දඹර ඇඟිල්ල එතුමාගේ මුව තුළට දමන ලෙස පැවසුවා.

‘ඔබේ ඇඟිල්ලට දැනෙන්නේ කුමක්ද? ලා ඕසේතුමන් ගෝලයන්ගෙන් විමසා සිටියා. ‘ඔබ තුමන්ගේ දිව’ අනුගාමිකයන් පැවසුවා. මෙපරිද්දෙන් අනුගාමිකයන් පස්දෙනාම එකම පිළිතුර දුන්පසු, ලා ඕසේතුමන් ඔවුන් ඇමතුවා, ඔව්, මා මුව තුළ දැන් ඉතිරිව ඇත්තේ දිව පමණයි. නමුත් මීට වසර ගණනාවකට පෙර මගේ උඩු ඇන්දේ සහ යටි ඇන්දේ ලස්සන මුතුවන් දත් පේළි දෙකක් පිහිටා තිබුණා. ඒවා බෝහෝම සවි ශක්තිමත් වගේම බොහෝම දරදඬුයි. ඕනෑම දෙයක් හපා කීතු කීතු කර පොඩි පට්ටම් කිරීමේ හැකියාව ඒවාට තිබුණා.

නමුත් මගේ දිව එහෙම නෙවෙයි. දිවට දැනෙන පැණි රසක් වේවා, තිත්ත රසක් වේවා, ලූණු රසක් වේවා, ඇඹුල් රසක් වේවා, කහට රසක් වේවා, ඕනෑම දෙයක් උපේක්ෂාවෙන් බාර ගත්තා. දිවට එහෙම වෙන්න පුළුවන් වුණේ දිවේ තිබුණු නම්‍යතාව නිසා. ඒ නිසාම දිව අදටත් මාත් සමග එදා වගේම ඉන්නවා. ඒ නිසා මා ඔබටත් කියන්නේ දිව වගේ නම්‍යශීලී වන්න. ජීවිතයට එළැඹෙන දුකසැප දෙකේදීම උපේක්ෂාවෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් දත්වලට වඩා වැඩි කාලයක් ඔබට පවතින්න හැකියාව ලැබේවි. බුදුරජාණන්වහන්සේගේ සමකාලීනයකු වූ චීනයේ විසූ සුප‍්‍රකට දාර්ශනිකයකු වූ ලා ඕසේතුමන්ගේ අවසන් පණිවුඩය වුණේ මෙයයි. ඒ පණිවුඩය එදාට වගේම කොයිතරම් මෙදාටත් ගැළපෙනවද?

හිතන්න,

මේ සතිය පුරාවටම.

සමන් සමරක්කොඩි.

Wednesday, January 1, 2014

HaPpy 2014

සුබ අළුත් අවුරුද්දක් වේවා...!!!!

දිගටම යන්න...


අපේ උපාධි ප‍්‍රධානෝත්සවය තිබුණේ වියලි නමුත් සීතල සුළං හමන දෙසැම්බරයේ දවසක. දෙසැම්බර් සීතලෙන් අවදිවන මතකයක් අවුරුද්දක් ඉවරවෙලා අවුරුද්දක් ලබනකොට ඔයත් එක්ක බෙදාගන්න හිතුනා.
උපාධි අපේක්ෂකයන් පෝලිමේ ෙවිදිකාව උඩට ගිහින් කුලපති තුමාගෙන් උපාධිය ගන්නකොට කුලපති තුමා උනුසුම් සිනාවකින් සංග‍්‍රහා කරලා අතට අත දීලා හඬ නගලා කියනවා ‘කොන්ග‍්‍රැජුලේෂන්’ කියලා. ඊට පස්සේ හඬ ටිකක් බාලකරලා, නමුත් ඉතාම ස්ථාවර හා ශක්තිමත් ස්වරයකින් උපාධිදාරියාට විතරක් ඇහෙන්න කියනවා ‘දිගටම යන්න’ කියලා.

කුලපතිතුමා එහෙම කියලා උත්සහ කරන්නේ වේදිකාවේ තදබදයක් නොවන අයුරින් පිරිස ඉක්මනින් වේදිකාව හරහා යැවීම වුණත් ඒ වචනේ අපේ මුුලූ ජීවිත කාලෙටම ඉතාම වැදගත් අවවාදයක් කරගන්නත් පුලූවන් නේද කියලා මට හිතුණා. ‘දිගටම යන්න’ ජීවිතේ අපි ළඟා කරගන්නා සෑම ජයග‍්‍රහනයකදීම උපාධියක් ගන්නකොට, විවාහයක් කරගනිද්දී, රැකියාවෙන් උසස්වීමක් වෙද්දී, වෙන එකක් තියා විශ‍්‍රාම යනකොට පවා ගන්න තියෙන හොඳම අවවාදය තමයි ‘දිගටම යන්න, නවතින්න එපා, එකතැන පල්වෙන්න එපා’ කියන එක.
ඔයා ජීවිතේ ලබා ගත්ත දේට වඩා තව හුඟාක් දේ ලබාගන්න තියෙනවා. මේක අවසානය නෙවෙයි. තාම ආරම්භ වුණා විතරයි. ‘දිගටම යන්න’.
මේ ආකල්පයෙන් අලූත් අවුරුද්ද පටන් ගන්න. ඔයාට ම තේරෙයි ඔයා, ඔයා වෙනුවෙන් කොයිතරම් දේවල් ඔයා තුළම ගබඩා කරගෙන ඉන්නවද කියලා.




හිතන්න,

මේ සතිය පුරාවටම.


සමන් සමරක්කොඩි.