Saturday, September 7, 2013

Hayaweni Pituwa! 4

හයවෙනි පිටුව. 4

පසුගිය සතියේ දවසක ශිරාලූයි තවත් ආර්ථික විශේෂඥයෝ දෙන්නෙකුයි එකතුවෙලා ලංකාවේ ආර්ථික අභියෝග සහ අවශ්‍යතා කියලා පොතක් ලියලා එළියට දැම්මා.
මේ පොතෙන් මේ ගොල්ලෝ මේ රටේ තියෙන ප‍්‍රධාන ආර්ථික ප‍්‍රශ්න 7ක් ගැන සාකච්ඡුා කරනවා, ඒ එක්කම ඒ ගොල්ලෝ ඒ ප‍්‍රශ්නවලට විසඳුම ලෙස සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මොඩලය හඳුන්වා දෙනවා. ශිරාල්ලා කියන විදිහට මේ රටේ දැන්  මේ තියෙන ලිබරල් ආර්ථික ක‍්‍රමය කඩාගෙන වැටිලා ඉවරයි.  ඒ නිසා දැන් මෙතැනට අවශ්‍යයි යුරෝපයේ ආස්වාදයක්ව පැවති සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මොඩලය. නමුත් මෙතැනදී ශිරාල්ලා යෝජනා කරන්නේ සමාජවාදී ගුරුකුලයෙන් ආව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරිපත් කළ රෝසා ලක්සම්බර්ග්ගේ මොඩලය වෙනුවට බර්න්ස්ටයින්ගේ දක්ෂිණාංශික සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මොඩලය. මේ පොත එළිදක්වන උත්සවයේ ප‍්‍රධාන අමුත්තා විදිහට ඇවිත් තිබුණේ බැසිල් රාජපක්ෂ. මේක තමයි මට හැමදාමත් තේරුම් ගන්න බැරි ශිරාල්ගේ දෙබිඩි චින්තනය.

ශිරාල්ගේ පොතේ උත්සවයට ආරාධනාවක් ලැබිලා තිබුණත් නොවැළැක්විය  හැකි කාරණාවක් නිසා මට ඒකට යන්න බැරි වුණා. නමුත් මම මගේ මිත‍්‍රයාගේ වැඬේ ගැන හොයලා බලන්න අමතක කළේ නෑ. ඒක නිසා ශිරාල්ගේත් මගේත් අතිජාත මිත‍්‍රයෙක් වෙන අසංගයත් එක්ක පස්සේ දවසක ශිරාල්ලගේ වැඬේ ගැන කතා කරනකොට ශිරාල්ලගේ  පැය දෙක තුනක සම්පූර්ණ වැඬේ ගැන අසංගයා වාක්‍ය තුන හතරකින්  මරුවට කිව්වා. සමනා, ඒ ඉවෙන්ට් එකේ ලොකු දෙයක් වුණේ නෑ. ඒ පොත ගැනවත් ඒ ඉවෙන්ට් එක ගැනවත් කතා කරන්න දෙයක් නෑ. එතැන වුණේ එක දෙයයි. ඒ තමයි ලංකාවේ ඉන්න ලොකුම මංකොල්ලකාරයෝ ටික ගෙනැල්ලා එතැන වාඩි කරවලා රට කොහොමද හොඳට මංකොල්ලකන්නේ කියන න්‍යාය සැපයුව එක තමයි ශිරාල්  එතැන කළේකියලා.

දැන් අසංගගේ මේ කතාව අහපු වෙලාවේ මම හිනා වුණා වගේම, මේක කියවන පිරිසත් දැන් හිනාවෙන බව මම දන්නවා. නමුත් මතක තියාගන්න ඛේදවාචකය තියෙන්නේ ඔය හිනාව ඇතුළේම බව. මොකද අපි  හිනාවෙන්නේ වෙන කාටවත් නොවෙයි අපිටමයි. අසංගගේ කතාව ඇතුළේ තියෙනවා අද අපි හැමෝම අත්විඳින මේ මොහොතේ මේ රටේ ක‍්‍රියාත්මක වෙන මේ ආර්ථික මොඩලය සම්බන්ධව සමාජ දේශපාලනික ගැඹුරු විවරණයක්. පහුගිය දවසක ඒ ගැඹුර මම පෞද්ගලිකව අත්විඳපු අවස්ථාවක් මට අසංගගේ කතාවත් එක්ක මතක් වුණා. මගේ මිත‍්‍රයෙක්ගේ ගෙදර කාලයක් තිස්සේ අපජලය බැහැර කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා. අන්තිමේදී මගේ මිත‍්‍රයා මිනිස්සු දෙන්නෙක්ට එන්න කියලා මේ අපජලය ගලායන්න කාණුවක් කපලා, බට දාලා වැඩක් කළා.  එදා ඉරිදා දවසක් වුණත් හවස හතර හතරහමාර වෙනකොට මේ වැඩ කරන මිනිස්සු බොහොම කලබල වෙච්ච බවක් පෙනුණා.
පස්සේ තමයි අපි දැනගත්තේ මේ දෙන්නම මගේ මිත‍්‍රයා පදිංචිවෙලා ඉන්න නගර සභා බල ප‍්‍රදේශයට අයිති නගර සභාවේ සුළු සේවකයන් දෙන්නෙක් බව. මේ දෙන්නා එදා නගර සභාවේ කාඞ් එක ගහලා තමයි මේ මගේ මිත‍්‍රයාගේ ගෙදර වැඩට ඇවිත් තියෙන්නේ. හතර හතරහමාර වෙනකොට කාඞ් එක  ඕෆ් කරන්න  ඕන නිසා තමයි අර කලබල වෙලා තියෙන්නේ. එතකොට එදා ඉරිදා, නිවාඩු දවසේ වැඩ කරනකොට මේ දෙන්නට නගර සභාවේ  ඕ.ටී. ඊට අමතරව මගේ මිත‍්‍රයාගේ ගෙදර වැඬේ කළාට ගාස්තුව රුපියල් 2500යි. එතකොට එදා මේ කම්කරුවෝ දෙන්නට පඩි දෙකයි. එකක් වැඩක් කරලා. අනික කිසිම වැඩක් නොකර. නමුත් මේ පඩි දෙකම ගෙවන්නේ කවුද? අපි. ඒ සේවකයෝ දෙන්නා වැඩ කරන නගර සභාවට බදු ගෙවන, ආණ්ඩුවට බදු ගෙවන මම, මගේ මිත‍්‍රයා ඇතුළු මේ රටේ සෙනග. මම මේ කම්කරුවන්ගෙන්  ඇහුවා මෙහෙම වැඩ කීයක් විතර මාසෙකට කරනවාද කියලා. මේ වගේ පිට වැඩ හැම මාසෙකම 10ක් 15ක්වත් සෙට් වෙනවා  කියලා කිව්වා.  ඒ කියන්නේ  ඒ වැඩවලටත් 2500 ගාණේ අය කළොත් මාසෙකට පඩියට අමතරව 2500 ඒවා 10ක් 15ක්.  දැන් මේක තමයි අද මේ යන්ත‍්‍රණයේ තත්ත්වේ.  මේ රාජ්‍ය යන්ත‍්‍රණය ගත්තාම නගර සභාව කියන්නේ ඉතාම පල්ලෙහා තියෙන තැනක්. නමුත් මේ දුෂණය මේ නගර සභාවෙන් පල්ලෙහාටත්, උඩටත්  විහිදෙනවා. අද  ඕනම රජයේ ආයතනයකට පොඩි ලිපිගොනුවක් ගන්න ගියත් ලියුමක් ගන්න ගියත් එතැන වැඩ කරන පියන්ට රුපියල් දෙතුන් සීයක් මිට මොලවන්නේ  නැතිව ඒ වැඬේ කරගන්න බෑ. ඒක  පියන්ගේ ඉඳලා අදාළ ආයතනයේ සභාපතිවරයා දක්වා යනකොට රුපියල් තුන්සීයේ ඉඳලා මිලියන ගණනක් දක්වා ගාණ වැඩි වෙනවා.
මේකට තමයි කියන්නේ ලූබ්දි ආර්ථිකය නැත්නම් සබ්බෝල්ටන් ඉකොනොමි කියලා. එතකොට දැන් මේ ලංකාවම දුවන්නේ මේ කියන සබ්බෝල්ටන් ඉකොනොමි එක උඩ. ඒ අනුව මේ යන්ත‍්‍රණය ඇතුළේ ඉන්න සුළු සේවකයාට පවා මාර විදිහට එළියේ හම්බකරන්න පුළුවන් අවස්ථා හැදෙනවා.  නමුත්් මේවා එකක්වත් අජිත් නිවාඞ් කබ්රාල්ගේ මහ බැංකු වාර්තාවේ නෑ.  නිවාඞ් කබ්රාල්ගේ මහ බැංකු වාර්තාවේ තියෙන්නේ මොකක්ද? මෙච්චර කම්කරුවෝ ඉන්නවා. මේ අයගේ මූලික වේතනය මේකයි කියලා.  නමුත් ඒ මහ බැංකු වාර්තාවේ නෑ මේ කම්කරුවෝ නගර සභාවෙන් ගන්න පඩියට අමතරව තව එළියේ වැඩ කරලා දහ පහළොස් දාහක් හම්බ කරනවා කියලා. එතකොට මේ මහ බැංකු වාර්තාව අරගෙන, රටේ බඩු මිල ඉහළ ගිහිල්ලා, මිනිස්සුන්ට කන්න විදිහක් නෑ ජීවන අංකය ඉහළ ගිහිල්ලා, ජීවන අංකයට අදාළ ගෙවීම එකතු කරව් කියලා ගිරිය කඩාගෙන කෑ ගහන විපක්ෂේ නිකම්ම පච වෙනවා.


මෙතැනදී මට අසංග කිව්ව තව කතාවක් මතක් වෙනවා. එදා ශිරාල්ගේ පොත එළියට දාපු  දවසේ ? ශිරාල්ගේ ඔෆිස් එකේ ශිරාල් ඇතුළු මිත‍්‍රයෝ කිහිප දෙනෙක් සෙට් වෙනවා. මේකට විස්කි සපයන්නේ ශිරාල්ගේ මිත‍්‍රයෙක්්. එයා මේවා ගේන්නේ ඩියුටි ෆ‍්‍රී. එතකොට ඩියුටිත් එක්ක විස්කි ගන්නවා නම් ඒක රුපියල් හත් අට දාහක් වෙනවා. නමුත් ඩියුටි නැතිව එදා විස්කි අරගෙන තියෙන්නේ රුපියල් පන්දහස් දෙසීය ගාණේ.  ඒ කියන්නේ එතැන  එක බෝතලේකින් රුපියල් තුන්දාහක් විතර ලාබයි. එතකොට මේ විස්කි බෝතල් තුනෙන්ම රුපියල් නව දාහක් විතර වාසියි. දැන් මේකත් නිවාඞ් කබ්රාල්ගේ වාර්තාවේ නෑ. දැන්  මෙන්න මේ විදිහේ අපට නොපෙනෙන සබ්බෝල්ටන් ඉකොනොමියක් මේ රටේ අද  වැඩ කරනවා.  ඉතින්  රනිල් වික‍්‍රමසිංහ, හර්ෂ ද සිල්වා, රවි කරුණානායක, අනුර කුමාර දිසානායකලාට දැන්  දෙයියන්ගේම පිහිටයි.


දැන් මේ කොලම ලියනකොට කොට්ටාවේ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව අත්අඩංගුවට අරගෙන ලිිංගික අල්ලසක් ගන්න යනකොට. සාමාන්‍යයෙන් ලිංගික ශ‍්‍රමිකයෙක් ළඟට ගිහිල්ලා විදුහල්පතිගේ අමාරුව සන්තර්පනය කරගන්න ගියා නම් රුපියල් හාර පන්දාහක්වත් වියදම් වෙනවා එයාට  ඒ වැඬේට. එතකොට මේ රටේ විදුහල්පතිවරුන්ටත්  දැන් එහෙම වියදම් නොකර ඒ ආසාවන් සන්නතර්පනය කරගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.  මේක විදුහල්පතිවරුන්ට විතරක් නොවෙයි. තමන්ගේ බලය පාවිච්චි කරන්න පුළුවන්  ඕනම ලොක්කෙක්ට, වෛද්‍යවරයෙක් වේවා, නීතිඥයෙක් වේවා, මැතියෙක් වේවා, ඇමැතියෙක් වේවා, පොලිස් ලොක්කෙක් වේවා, මේ රාජ්‍යත්වයේ බලය නිසා අද මේ දේවල් නොමිලේ කරගන්න පුළුවන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. අපි මීට කලින් මේ කොලමෙන්  කිව්වා මේ රටේ සෙනගට අනුව මහින්ද රාජපක්ෂ කියන්නේ තවදුරටත් ජනාධිපතිවරයෙක් නොවෙයි රජෙක් කියලා.  රජෙක් ඉන්නකොට ඒ රටේ තවදුරටත් ඡුන්දෙන් පත්වෙච්ච මහජන නියෝජිතයො බලාපොරොත්තු වෙන්න බෑ. ඉන්නේ  ප‍්‍රාදේශීය පාලකයෝ.  ඒ නිසා තමයි මේ රටේ පළාත් සභා මන්ත‍්‍රීලා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීලා පහුගිය කාලේ රටේ රාළලා, මොහොට්ටාලලා, ආරච්චිලා වගේ හැසිරුණේ.  එතකොට මේ වගේ පාලන ක‍්‍රමයක් ඇතුළේ ඉන්න රජයේ නිලධාරීන් හැසිරෙන්නෙත් සෙන්පතිලා, විදානෙලා, වෙල් විදානෙලා, විල් විදානෙලා, වගේ රාජ්‍යත්වයේ නිලධාරීන් විදිහට. එතකොට මේ රටේ ඉන්න සෙනගට සිද්ධ වෙලා තියෙනවා මේවා මත යැපෙන්න. සෙනග යන්නේ නෑ මේක වෙනස් කරන්න.  පුරවැසියෝ ඉන්නවා නම් මේක වෙනස් කරනවා.  නමුත් සෙනග යන්නේ නෑ මේක වෙනස් කරන්න.  දැන් සෙනගත් මේක පිළි අරගෙන ඉන්නවා.  එතකොට ඇයි සෙනග මේක වෙනස් කරන්නේ නැත්තේ? ඒකට හේතුවත් අපි කලින් ලිව්වා. මේ රටේ සෙනගෙන් ලක්ෂ 15ක් විතර මේ රාජ්‍ය සේවයේ ඉන්නවා. ඒ කියන්නේ හැම පවුල් තුනකටම එකෙක් රජයේ සේවකයෙක්.  සමහර වෙලාවට තමන්ගේ පුතා වැඩ කරනවා වෙන්න පුළුවන් යක්කල ප‍්‍රාදේශීය සභාවේ. හැබැයි මහර ප‍්‍රාදේශීය සභාවෙන් වැඩක් කරගන්න නම් යක්කල ප‍්‍රාදේශීය සභාවේ පුතා හිටියා කියලා කරන්න දෙයක් නෑ මහර ප‍්‍රාදේශීය සභාවේ එකාට ජරාව දෙන්න  ඕන.  එතකොට මේ සෙනග මේ ක‍්‍රමේට විරුද්ධව කැරැල්ල ගහන්නේ නැත්තේ මේ විදිහට කළු සල්ලි ගෙදරට එන නිසා.  මේ විෂම චක‍්‍රය ඇතුළේ මේ ඔක්කොම හිරවෙලා. මේ සෙනග මේ විදිහට ආතල් එක දෙනවා, ආතල් එක ගන්නවා.  පගාව දෙනවා, පගාව ගන්නවා.  මේ පගාව විදිහට කළු සල්ලි අතට එනකොට ඒක මහන්සිවෙලා කරන හම්බකිරිල්ලක් නොවෙයි. මේවා ඊසි මනී. එතකොට ඊසි මනී - ඊසි කමින් - ඊසි ගොයින්. මේ විදිහට පුතා පගාව ගෙදර ගේනවා. අම්මා, තාත්තා පගාව දීලා වැඩ කරගන්නවා.

එතකොට මහින්දගේ් මේ ආර්ථික ප‍්‍රතිපත්තිය හරහා ඔය ශිරාල්ලා බලාපොරොත්තු වෙන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයවත් මොන බඩකඩිත්තුවක්වත් සිද්ධ වෙන්න බෑ. ශිරාල්ලා වගේ උගතුන්ට ඉස්සරහටත් ඔය වගේ පොත් ලිය ලියා ඉන්න එක විතරයි දෙයියන්ගේ පිහිටෙන් කරන්න වෙන්නේ. මොකද මහින්ද පැහැදිලිව  එක දෙයක් දන්නවා . ඒ තමයි මේ සෙනග හැමදාමත් දැක්කුවේ සංවිධානාත්මක සුළුතරයක් විසින්. ඒක ඉතිහාසේ ඉඳලාම එහෙමයි. ජේසුස්වහන්සේ කළෙත් ඒකයි. බුදුහාමුදුරුවෝ කළෙත් ඒකයි, නබි නායකතුමා කළෙත් ඒකයි, මහා ඇලෙක්සැන්ඩර් කළෙත් ඒකයි, සීසර්ගේ රෝම හමුදාව කළෙත් ඒකයි. සංවිධානාත්මක සුළුතරය විසින් තමයි මේ බහුතරය  හැමදාමත් මෙහෙයවන්නේ.  මහින්ද දන්නවා මේ රටේ එහෙම ප‍්‍රබල සංවිධානාත්මක සුළුතරයක් නැති වුණත් මේ රටේ අසංවිධිතව යම් බුද්ධිමය කොටසක් පවතින බව. ඒ ගොල්ලන්ගේ සමාජ ආර්ථික තත්ත්වය හැම තිස්සේම සැකසිලා තියෙන්නේ මේ මැද පංතිය කියන එක තුළ බවත් මහින්ද දන්නවා.

එතකොට ලෙනින් කියලා තියෙනවා මෙහෙම කතාවක්. මේ කම්කරු පංතියට විප්ලවේ කරන්න විඥානය නෑ. උන්ට උපරිමේ කරන්න පුළුවන් වෘත්තීය සමිතියක් පටන් අරගෙන ඉන්න එක තමයි. හැබැයි උන්ට අවශ්‍ය විප්ලවීය විඥානය දෙන්න  ඕන මැද පංතිය විසින් කියලා. එතකොට මේ රටේ මැද පංතියේ ඔය කියන බුද්ධිමතුන් ටික තමයි මේ රටේ මත නිෂ්පාදනය කරන්නේ.
මහින්ද කරන්නේ මේ මත නිශ්පාදනය කරන උන්ව එක්කෝ තමන්ගේ සාක්කුවට  දාගන්න ට‍්‍රයි කරනවා. එහෙම බැරි උන්ව නන්නත්තාර කරලා දානවා. එහෙම  මහින්දගේ සාක්කුවට වැටිච්ච පශ්චාත් නූතන ගුරු කුලයට අයිතිවෙලා හිටපු පිරිසකුත්, ඒ වගේම මුලින්ම ජනතා මිතුරෝ ව්‍යාපාරයේ හිටිය ඊනියා උගත්තු බහුතර ප‍්‍රමාණයකුත් එදා ශිරාල්ලගේ පොත එළියට දාන දවසේ ඇවිත් හිටියා කියලා අසංග කිව්වා. අද ඒ උගත්තු ඔක්කොම මහින්දගේ සංස්ථාවල ලොකු ලොකු සභාපතිකම් කරන ලොකු අයියලාලූ. එතකොට එහෙම බැරි උන්ට මහින්ද මොනවාද කරන්නේ? බැරි එවුන්ගේ ආර්ථිකය කුඩු පට්ටම් කරලා දානවා. ඒ කියන්නේ මහින්ද එන්න එන්න මේ මැද පංතියට තියෙන ආර්ථික අවකාශය අකුළවමින් ඉන්නවා. එතකොට එක්කෝ උන්ට වෙනවා මහින්දත් එක්ක සෙට්වෙලා මහින්දට සේවය කරන්්න. එහෙම නැත්නම් හිඟන්නෝ වගේ ජීවත් වෙන්න, එහෙමත් නැත්නම් රට දාලා  යන්න.



මෙහෙම සමාජයක් වෙනස් කරන්න පුළුවන් බුද්ධිමතුන්  සම්බන්ධව මාක්ස් හොඳ විග‍්‍රහයක් දීලා තියෙනවා. මාක්ස් කියනවා බුද්ධිමතුන් අයිති වෙන්නේ ඔවුන් සේවය කරන පංතියටයි කියලා. එතකොට මෙතැන පංතිය කියන එක අපි අමතක කරලා ප‍්‍රගතිශීලිත්වය සහ ප‍්‍රතිගාමීත්වය කියන දෙක ගත්තොත් මේ කතන්දරේ ඉතාමත්ම පැහැදිලියි. එතකොට ප‍්‍රගතිශීලිත්වය උදෙසා ඉදිරිපත්වෙලා ඉන්න ඒ බුද්ධිමතුන්ගේ ආර්ථික වටපිටාව හකුළුවන එක තමයි අද මහින්ද රාජපක්ෂගේ දේශපාලන ආර්ථික වැඩසටහන. මහින්දගේ මෙන්න මේ දේශපාලන ආර්ථික ව්‍යාපෘතිය වටහාගන්නේ නැතිව එක පැත්තකින් රනිල්ලා, රවිලා, හර්ෂලා, අනුර කුමාරලා, කබ්රාල්ගේ මහා බැංකු වාර්තාව අරගෙන ආණ්ඩුව පෙරළන්න බලනවා. එතකොට  අනිත් පැත්තෙන් රනිල් වැරැදියි කියපු ශිරාල්ලා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා යුරෝපයේ තිබ්බ ඒ  ආස්වාදය ලංකාවට ගෙනල්ලා රාජපක්ෂ සහෝදරයෙක්ටම ඒ පොත පිළිගන්නලා රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න උත්සහ කරනවා. මේ ඔක්කොම දැනදැනත් අපි පත්තර පිටු ගණන් ලිය ලියා පුරවැසියෝ හදන්න කතා කරනවා. 

කාටද ඇත්තටම පිස්සු?



සමන් සමරක්කොඩි.

No comments:

Post a Comment