Saturday, August 31, 2013

Hayaweni Pituwa! 3

හයවෙනි පිටුව. 3


ගිය සුමානේ මන්දනා ස්මයිල්ගේ ගෙදරට හොරු පැන්නා. ඒ ගැන එක එක්කෙනා එක එක කතා කිව්වා. ආණ්ඩුව කිව්වෙ ඒ පැන්නෙ පල්හොරු කියලා. විපක්ෂයයි, සමහර මාධ්‍ය සංවිධානයි, එන්ජී ඕ සංවිධානයි කිව්වෙ ඒ පැන්නෙ රජහොරු කියලා. මන්දනාගේ ගෙදරට පැන්නෙ කවුද කියලා හොයන්න අපට වුවමනාවක් නැහැ. නමුත් අපට ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඇයි මේ රටේ මාධ්‍යවේදීන්ගේ ගෙවල්වලට හොරු පනින්න බැරිද?


ඉන්දියාවේ ක‍්‍රිස් එකත් එක්ක ගහපු හොර ගිවිසුමක් හොරෙන් ගේන්න මහින්ද මන්දනාගේ ගෙදරට හොරු වගේ අන්දපු හමුදාවේ හොරු ටිකක් යැව්වා කියලා රනිල් මේ ළඟදී මීටිමකදී කියලා තියෙනවා. ඊට කලින් රනිල්ගෙ මහලේකම් තිස්සත් මාධ්‍ය ඉදිරියට ඇවිත් මෙන්න මන්දනාගෙ ගෙදරට හොරු පැනලෝ... අල්ලපියෝ... අල්ලපියෝ...කියලා කෑගැහුවා. මේක තමයි අද විපක්ෂයේ තත්්ත්වේ. මේ ගොන් පාට්වලින් එහාට අම්මපා විපක්ෂයට දෙයක් ඇත්තෙම නෑ.

කවුද මේ මන්දනා ස්මයිල් කියන්නෙ? සන්ඬේ ලීඩර් එකේ කර්තෘ. සන්ඬේ ලීඩර් එකේ හිටපු කර්තෘ පෙඞ්රිකා ජෑන්ස් මට මහින්දත් එක්ක මේ බඩකඩිත්තුව කරන්න බෑ කියලා දමලා ගහලා ගියාට පස්සෙ පෙඞ්රිකාගෙ තැන ගත්තු කර්තෘ. එතකොට අද සන්ඬේ ලීඩර් කියන්නෙ එදා ලසන්ත වික‍්‍රමතුංග හිටපු කාලෙ තිබුණ එකද? අද ඒක වැඩ කරන්නෙ කාටද? අද ඒකෙ එඩිටෝරියල් පොලිසි එක මොකක්ද? අද ඒකෙ වැඩ කරන්නෙ කවුද? පැහැදිලිවම අද සන්ඬේ ලීඩර් එක වැඩකරන්නෙ මහින්දට. මහින්දගෙ මිනිහෙක් තමයි සන්ඬේ ලීඩර් එකට සල්ලි දාන්නෙ. අද ඒකෙ ලියැවෙන තරමක් ලියැවෙන්නෙ ආණ්ඩුවේ ප‍්‍රශස්ති. අද සන්ඬේ ලීඩර් එකේ එදා ලසන්ත හදපු ලීඩර් එකේ හෙවණැල්ලක්වත් නෑ. අඩුම ගාණේ ලසන්ත එක්ක හිටපු පෙඞ්රිකාට අලූත් හාම්පුතා පල නොකියා පළා බෙදනකොට තම ආත්මගරුත්වය රැුකගෙන, ප‍්‍රතිපත්ති මත පිහිටා එළියට බැහැලා ගිය පෙඞ්රිකාගෙ තැනට අලූත් හාම්පුතා විසින් ගෙනාපු කර්තෘ තමයි මන්දනා කියන්නෙ. එතකොට දේශපාලන ලාභයක් අරමුණු කරගෙන ෆන්ඩ්  කරන පත්තරේක තමන්ට අවනත නැති කෙනෙක් ලොකු පුටුවක තියයිද මොළේ තියෙන හාම්පුතෙක්. විශේෂයෙන්ම ජාතික පත්තරේක කර්තෘ පුටුවක.එතකොට එහෙව් මන්දනාගේ ගෙදර තියෙන දෙයක් තමන් ළඟට ගෙන්න ගන්න මහින්ද මෙච්චර මහන්සි වෙන්න  ඕනද? ඒක ක‍්‍රිිස් ගනුදෙනුවක් හරි වෙන මොනවාහරි බඩකඩිත්තුවක් වෙන්න පුළුවන්. ඒක තමන්ගෙ ළඟට ගන්න මේ තරම් අවදානමක් ගන්න  ඕනද මහින්ද? මහින්දගෙ ආණ්ඩුව අනිත් එක හැමදාමත් පිල්ලියක් විදිහට දැක්ක පිල්ලෙ මේ රටට පය තියන්න පැය ගාණක් තියෙද්දී?’ මේ  ප‍්‍රශ්නෙ මම ඇහුවා මගේ මාධ්‍ය සගයෙක්ගෙන්. එතකොට මිනිහා කියනවා නෑ එහෙම නෙමෙයි, මන්දනා වැඩ කරන්නෙ මහින්දගෙ මිනිහෙක් යටතේ වෙන්න පුළුවන්. නමුත් මන්දනා එක්ක අත්සන් කරලා තියෙන ආයතනගත ගිවිසුම්, මන්දනාගෙ ප‍්‍රතිපත්ති, කර්තෘවරයා වශයෙන් මන්දනාට තියෙන වගකීම් වගේ දේවල් මත මන්දනාගෙන් ඒ දේවල් එහෙම ගන්න බැරිවෙන්න බැරිද?’

පෙඞ්රිකා යන පරක්කුවට පෙඞ්රිකාගෙ තැන ගත්තු මන්දනාට මගේ මිත‍්‍රයා කියන  විදිහේ ගිවිසුම්, ප‍්‍රතිපත්ති, වගකීම් තියෙන්න පුළුවන්ද? අනිත් එක මේ ප‍්‍රාග්ධනය අධිනිශ්චය වෙච්ච මාධ්‍ය කර්මාන්තය ඇතුළේ පත්තර මුදලාලි කෙනෙක් ළඟ පඩියට වැඩකරන කර්තෘ කෙනෙක්ට එහෙම සෙල්ලම් දාන්න පුළුවන්ද? එහෙම  පුළුවන්කමක් තිබුණා නම් ලලිත් අලහකෝන් තාමත් එයා වැඩ කරපු පත්තරේ කර්තෘ. මුදලාලිත් එක්ක හැප්පුණ ලලිත් අද කොහේද? මේක තමයි මේකෙ තියෙන තිත්ත ඇත්ත. ඒ හින්දා මහින්දට මන්දනා ළඟ තිබුණ දෙයක් තමන් ළඟට ගන්න වුවමනාව තිබුණා නම් මෙහෙම හොරා පොලිස් කරන්න  ඕන නෑ. ඒක බොහොම ලෙහෙසියෙන් මහින්දට කරගන්න පුළුවන්. මහින්ද දාපු සෙල්ලම් එක්ක මන්දනා කවුද මහින්දට.

හොඳයි මහින්ද මේක කළා කියමු. එහෙනම් මහින්ද මේක මේ තරම් ගොන් විදිහට කරයිද? පැන්න ගමන් අතේ පත්තු වෙන විදිහට. අවුරුදු 30ක් පුරා දිගඇදිච්ච යුද්දේ ඉදිරි ආරක්ෂක වළලූ දාලා අභ්‍යන්තර ආරක්ෂක වළලූ තරකරලා පසුපස ආරක්ෂක වළලූ හදල ගහලා දිනපු මහින්ද මන්දනාගෙ ගෙදර මෙහෙයුමට මේ තරම් අසංවිධානාත්මක විදිහට යයිද? ඔඩෙල් එකේදී මාලකට නෙලන්න ගිය උන් ටිකත් මීට වඩා සංවිධානාත්මක විදිහට ගිහින් තිබුණා. අදටත් මාලකට ගහපු උන්ගෙ ඇඩ‍්‍ර‍්‍රසුත් නෑ. උන් එච්චර සංවිධානාත්මක නම් මහින්ද කොහොම වෙන්න  ඕනද?

මහින්ද මේක කළා නම් හමුදාවෙන් පැනපු එවුන් නෙමෙයි හත්මුතු පරම්පරාවෙ හමුදාවෙ ගෑවිච්ච එකෙක්වත් මේකට ගන්නෙ නෑ. අනිත් එක තමන්ගෙ ගෙදරට කිසියම් පිරිසක් ඇතුළු වෙලා කියලා 119ට දැන්නුව මන්දනාගෙ මනුස්සයා, ගේට්ටුවෙන් ඇතුළට ආවහම තමයි දකින්නෙ ගෙයි දොර ඇරලා කියලා. එතකොට මහින්දගෙ මිනිස්සු මෙහෙයුමක් දියත් කරන තැනක එහෙම ගේට්ටුවෙන් ඇතුළට එන එකෙක්ව කුදලගෙන ගිහින් හොම්බට දෙකක් අනින්නට තරම්වත් දියුණු සැලසුමක් නැති තරමට මහින්දගෙ මෙහෙයුමත් අඳබාල වෙයිද? ඊළඟට මන්දනාගෙ මනුස්සයාගෙ ඇමැතුමට එවෙලේම එතැනට ආව 119 පොලිස් නිලධාරින්ට කැති පිහිවලින් කොටලා තමයි මන්දනාගෙ ගෙදරට පැන්න හොරු දුවලා තියෙන්නෙ. එතකොට කැති පිහි අරගෙන මේ වගේ බරපතළ මෙහෙයුමකට එන්න තරම් මහින්දගෙ මිනිස්සු දුප්පත්ද? රූකාන්තගෙයි චන්ද්‍රලේඛාගෙයි කොණ්ඩෙ කපන්න යනකොටත් 9පප පිස්තෝල, ටී56 රයිෆල් අරගෙන ගිය ජනාධිපති ආරක්ෂකයෝ හිටපු රටක ජනාධිපති මහින්දගෙ මිනිස්සු මේ වගේ  මෙහෙයුමකට කැති පොලූ අරගෙන යයිද? එහෙම ගිහිල්ලත් පැය ගණන් තේ බිබී පිළිසඳර කතා කර කර ඉඳියිද?

මේ වගේ ප‍්‍රශ්න  ගොඩක් තියෙද්දී මේ සිදුවීම වුණාට පස්සෙ අපි දකින්නෙ  මොනවාද? මන්දනා ස්මයිල් මොකුත් කියන්නෙ නැතුව තෘෂ්ණීම්භූත වෙලා බලාගෙන ඉන්නවා. මොකද එයා දන්නවා ඇත්තටම වුණේ මොකක්ද කියලා. එයා කතා නොකර ඉන්නකොට රටේම ඉන්න මාධ්‍ය සංවිධානකාරයෝ ටිකයි, එන්ජී ඕකාරයෝ ටිකයි, විපක්ෂයයි කතාකරනවා. රටේම තියෙන ගොන් කතා කියනවා. ආපු එවුන් මන්දනාගෙ ෆයිල් ඇදලාලූ. ඒ කියන්නෙ මන්දනාගෙ ගෙදර තියෙන ෆයිල් අදින්න පුළුවන් ගෙදරට හොරෙන් එන එවුන්ට විතරයි. ඒක වෙන කාටවත් කරන්න බෑ. ඊළඟට මන්දනාගෙ ගෙදරට ආපු එවුන් අතරෙ හමුදාවෙන් පැන්න එවුන් තුන්දෙනෙක් ඉන්නවාලූ. මේ රටේ  ඕන බබෙක් දන්නවා දැන් මේ රටේ අපරාධ කරනවුන් දහදෙනෙක් ඇල්ලූවොත් පස්දෙනෙක්ම හමුදාවෙන් පැනපු උන් කියලා. ඒක තමයි අද අපි අත්විඳින යුද්ධයේ අතුරුඵලය. ඒවා මුකුත් නොදන්න ගාණට අර එන්ජී ඕකාරයෝ ටිකයි, මාධ්‍ය සංවිධානකාරයෝ ටිකයි, විපක්ෂයයි පඬේ වෙඩිල්ල කරනවා. කබ්බෝ පොලිෂ් කරනවා. ලකුණු දාගන්නවා. එතකොට ඒ කියන ගොන් කතා ඔක්කොම මේ රටේ සෙනඟ පිළිගන්නවා. ඒක හින්දා මීට පස්සෙ හොරුනි, තොපි දැනගනිල්ලා වැරැුදිලාවත් මාධ්‍යවේදියෙක්ගෙ ගෙදරට පනින්න එපා. පනින්න කලින් අර තොපේ මුට්ටිය දාලා බලපල්ලා ඒ ගෙදර ඉන්නෙ මොකෙක්ද කියලා. නැත්නම් ඉතින් අපිට හැමදාමත් වෙන්නෙ මේ විනෝද සමය බලන්න.
අද ඇත්තටම මේ රටේ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් තියෙනවා. ඒක මේ මාධ්‍යවේදියකුගෙ  ගෙදරට හොරු පනිනවා වගේ සිල්ලර තැනක ලඝු කරන්න දෙන්න බෑ. මේ කොලමේ පහුගිය සතිවල ලියපු කාරණා ගැන ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් ගිය සතියේ අපට කතා කළා. ඔයා කියන දේවල් ඔක්කොම ඇත්ත. තර්කයක් තියෙනවා. පිිළිගන්නවා. නමුත් අපිට තියෙන ප‍්‍රශ්නෙ අපි කොහොමද ඔයාව රැුකගන්නෙ කියන එක. මොකද ඔයා ගහන්නෙ අපට. එතකොට දැන් ඔයාට වෙන කවුරුහරි මොනවත් කළොත් ඒක යන්නෙත් අපේ පිටින් මේක තමයි මේ වෙලාවෙ තියෙන තිත්ත ඇත්ත. ඒ භීෂණය සමාජයේ තාවකාලික  පොරක් වෙන්න හරි පිටරටක වීසා එකක් වෙනුවෙන් හරි තව එකෙක් බලය වෙනුවෙන් දකින හීනය යථාර්ථයක් කරන බළල් අතක් විදිහට පාවිච්චි කරන්න හරි ඉඩදෙන්න බෑ. මොකද කොටියා ආවෙ නැති වෙලාවෙ බොරුවට කොටියා ආවා කියලා කෑගැහුවාම ඒකට රැුවටිච්ච උන් ඇත්තටම කොටියා ආව වෙලාවෙදි පැත්තවත් බැලූවේ නැති කතාව අපි හොඳට දන්න නිසා.


එතකොට ලංකාවෙ විපක්ෂය මේ පාරත් මහින්දගෙ ලණුව හොඳට කෑවා. ඒ නිසා තමයි අපි හැමදාමත් කියන්නෙ මේ ගේම් එක මහින්ද තාමත් හොඳට සෙල්ලම් කරනවා කියලා. දැන් එතකොට මේ රටේ විපක්ෂයට, සිවිල් සංවිධානවලට, එන්ජී ඕවලට ඇතැම් සමාජ ක‍්‍රියාකාරින්ට අනුව අද ලංකාවෙ මාධ්‍යයට තියෙන ලොකුම තර්ජනය තමයි මාධ්‍යවේදීන්ගෙ ගෙවල්වලට ?ට හොරු පනින එක. දැන් මරා දැමූ මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. අතුරුදන් වෙච්ච මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. තර්ජනයට ලක්වෙච්ච මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. ගුටිකාපු මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. ලියන්න කියන්න තියෙන නිදහසට ඇති බාධාවන් ගැන කතාවක් නැහැ. ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස් ඇවිත් ඉන්න වෙලාවෙ මේ රටේ ප‍්‍රධාන විපක්ෂය මහලේකම්ට  සහ විපක්ෂ නායකයාට මාධ්‍ය ගැන තිබිච්ච ලොකුම චෝදනාව තමයි මාධ්‍යවේදිනියකගේ ගෙදරට හොරු පැන්න කතාව.
මේක තමයි මහින්දටත් කෙරෙන්න  ඕන. හැමදාම වගේ විපක්ෂය මේ පාරත් මහින්දට  ඕන දේ ගාණට කරලා දුන්නා. ලංකාවෙ විපක්ෂයට තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි තමන්ගෙ කිියලා සටන් පාඨ නැති එක. එතකොට මහින්ද කරන්නෙ කාලෙන් කාලෙට විපක්ෂයට ඇදගෙන යන්න සටන්පාඨ හදලා දෙන එක. මොකක්හරි ආණ්ඩුවට රිදෙන ලොකු ඉෂූ එකක් ආව හැම වෙලාවෙම මහින්ද ඒක නියමෙට කරනවා. අපිට මතකයි උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවා හැමෝටම දේශපාලනය කරන්න නිදහස තියෙනවා කිව්ව වෙලාවේ දකුණේ වාමාංශික කොටස් ගියා උතුරේ දේශපාලනේ කරන්න. ඒ වෙලාවේ උතුරේ තරුණයන්ගේ ආදරේ දිනාගත්ත ලලිත් කූගන් අතුරුදන් වුණා. එතකොට විපක්ෂයට අමතක  වුණා උතුරේ දේශපාලනේ, එතැන ඉඳලා විපක්ෂයේ සටන් පාඨය වුණේ ලලිත් කූගන් ගැන. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන රටේ කතාබහක් ඇතිවුණ වෙලාවේ බොදු බල සේනාව මුස්ලිම් කඩවලට ගහන්න පටන්ගත්තා. විපක්ෂයට 13 අමතක වුණා. එතැන ඉඳලා විපක්ෂයේ සටන් පාඨය වුණේ  බොදු බල සේනාව.

ඒ ගේම ජිනීවාවල අපට විරුද්ධව යෝජනාවක් ගේන්න සූදානම් වෙච්ච වෙලාවේ ආණ්ඩුව එකපාරටම කැබිනට් සංශෝධනයක් ගෙනාවා. එතැන ඉඳලා විපක්ෂයේ සටන් පාඨය වුණේ ජිනීවා නෙවෙයි කැබිනට් සංශෝධනය. ඒ වගේම අපිට විරුද්ධව ජිනීවා යෝජනා සම්මත වෙච්ච වෙලාවේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ඝාතකයන් ගැන කතාවක් ඇද්දා. විපක්ෂයට ජිනීවා අමතක වුණා. ආර්ථික ඝාතකයා සටන් පාඨය වුණා. ඊට පස්සෙ ශිරාණි බණ්ඩාරනායකට දෝෂාභියෝගේ ගෙනාව වෙලාවේ නීතියේ ස්වාධීනත්වය බරපතළ තර්ජනයකට ගිය වෙලාවේ විපක්ෂයේ සටන් පාඨය වුණේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාඩිවෙනවාද නැද්ද කියන එක. ඒ වගේම තමයි රතුපස්වල ජල ප‍්‍රශ්නය ආව වෙලාවේ වතුර ඉල්ලලා සටන් කරපු මිනිස්සු වෙඩි කාපු වෙලාවේ විපක්ෂය දන්නෙම නැතුව විපක්ෂයේ සටන් පාඨය කිරි පිටි වුණා. විදුලිබිල ඉහළ ගිය වෙලාවෙ වැඩිවුණ විදුලිබිල නෙවෙයි විපක්ෂයට දැනුණෙ, අසාද් සාලිව අත්අඩංගුවට ගත්ත එක. මේ විදිහට මහින්ද ආණ්ඩුවට බරපතළ විදිහට ගහන්න පුළුවන් ඉෂූ ආපු හැම වෙලාවකම ගාණට විපක්ෂය ඇන්දුවා. මේ වෙලාවෙත් මහින්ද විපක්ෂයට රෙදි ටික පෙන්නුවා විතරයි විපක්ෂය ඒ රෙදි ටික අරගෙන ගාණට කපලා මහලා ඇඳගත්තා. අද විපක්ෂෙට ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස් ආව වෙලාවෙ රටේ මාධ්‍ය ගැන කියන්න තිබුණෙ මාධ්‍යවේදීන්ගේ ගෙවල්වලට හොරු පනිනවා වහාම ඒ ගැන හොයන්න කියලා විතරයි. මීට කලින් මේ රටේ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් මුහුණදුන්නු බරපතළ කාරණා ගැන වගේ වගක් නැතිවුණා.  දැන් පිල්ලේ ගිහින් ලෝකෙට කියයි ලංකාවෙ ඔය කියන තරම් ලොකු ප‍්‍රශ්න නැහැ.

මාධ්‍ය සම්බන්ධයෙන් වුණත් තියෙන්නෙ මාධ්‍යවේදීන්ගෙ ගෙවල්වලට කැති පිහිගත්ත අහිංසක හොරු පනින එක විතරයි. ඒ පැන්නත් මහින්දගෙ පොලීසිය සැණින් එසැණින් ඒ හොරු ටික අල්ලනවා. ඒ තරම් නීතියක්, සාමයක් යහපාලනයක් තියෙන මෙවන් ආශ්චර්යවත් රටක් වෙන කොහෙන්දා? කියලා.



එතකොට අපිට ඉතිං හායි හායි හිප්පි හිප්පු රා.....


සමන් සමරක්කොඩි.

No comments:

Post a Comment