ආශ්චර්යයේ මිල
ටීෂා කියන්නේ
අවුරුදු 8ක් විතර පැහිච්ච පුංචි කෙල්ලෙක්. එයාට හැමතිස්සේම ඇහෙනවා
එයාගේ අම්මයි තාත්තයි එයාගේ පුංචි මල්ලී අන්ඩෲ ගැන කතා කරනවා. ටීෂාගේ පුංචි මල්ලී
බරපතළ විදිහට ලෙඩවෙලා හිටියේ. තාත්තගෙ සල්ලි ඔක්කොම ඒ ලෙඬේට වියදම් කරලා තිබුණේ.
ඊළඟ මාසයේ ඒගොල්ලන්ට ඒගොල්ලො හිටපු ගෙදරිනුත් යන්න වෙලා තිබුණේ. ඒකට හේතුව තමයි
දොස්තරගේ ගාස්තුවයි, ගෙවල් කුලියයි කියන දෙකම තාත්තට තවදුරටත්
ගෙවාගන්න බැරිවීම. ඉතාම වියදම් අධික ඔපරේෂන් එකකින් ඇරෙන්න පුංචි ඇන්ඩෲව බේරගන්න
බැරි බව ඒගොල්ලෝ දැනගෙන හිටියා. හැබැයි මේ වේලාවේ ඒගොල්ලන්ට ණයක් දෙන්නවත්
කවුරුවත් කැමැති වුණේ නැහැ. දවසක් ටීෂාට ඇහුනා තාත්තා බලාපොරොත්තු කඩවෙච්ච
ස්වරයෙන්, හැඩුම්බරව හිටිය අම්මට
කොඳුරනවා, ‘දැන්නම් ඉතිං ආශ්චර්යකටම විතරයි එයාව බේරගන්න පුළුවන්’ කියලා.
ටීෂා එයාගේ
කාමරේට ගිහිල්ලා, කාමරේ පුංචි රහස් කුටියක හංගලා තිබුණු
වීදුරු ජෝගුවක් එළියට ගත්තා. ඒකේ පුරවල තිබුණ මාරු කාසි ඔක්කොම බිමට හලලා එයා
පරිස්සමෙන් ගණන් කළා. එකපාරක් දෙපාරක් නෙවෙයි තුන්පාරක්ම ගණන් කළා. ජෝග්ගුවේ
තිබුණු ගාණ දැන් හරියටම තහවුරුයි. වරදින්න කිසිම අවස්ථාවක් නැහැ. එයා කාසි ටික
ආපහු පරිස්සමෙන් ජෝග්ගුව ඇතුළට දාලා මූඩිය හොඳට තද කළා. ඊට පස්සේ ගෙදර පිටිපස්සෙ
දොරින් හෙමිහිට රිංගලා පාර දිගේ ඇවිදගෙන ඒගොල්ලන්ගෙ ගෙවල්ගාව තිබුණු ෆාමසියට ගියා.
ටීෂා බොහොම
ඉවසීමෙන් බලාගෙන හිටියා ඖෂධවේදියා එයා ගැන අවධානය යොමු කරන කම්. නමුත් ඖෂධවේදියා ඒ
වේලාවේ හුඟක් කාර්යබහුල වෙලා හිටියේ. ටීෂා එයාගේ සපත්තුව පොළොවේ ඇතිල්ලූවා. කිසිම ප‍්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ එයා එයාගේ
උඟුර පෑදුවා. ඒත් කිසිම වැඩක් වුණේ නැහැ.
අන්තිමට එයා
සල්ලි දාල තිබුණු වීදුරු ජෝගුව ෆාමසියේ වීදුරු කවුන්ටරය උඩින් මහ හඬක් නැගෙන
විදිහට තිබ්බා. ඒ පාරනම් වැඬේ හරි ගියා.
‘මොනාද ඕනේ’ ඖෂධවේදියා
කේන්තියෙන් ඇහැව්වා.‘මම මේ මගේ චිකාගෝවල ඉඳල ආපු මල්ලිත් එක්ක
කතා කර කර ඉන්නේ. හුඟකාලෙකට පස්සෙ මම එයාව අදයි දැක්කේ’ ඖෂධවේදියා එයා ටීෂාගෙන් අහපු ප‍්‍රශ්නෙට එයාට උත්තර දෙන්නත්
ඉඩ නොතියාම කියාගෙන කියාගෙන ගියා.
‘මමත් ආවේ මගෙ සහෝදරය ගැන කතා කරන්න’ ටීෂාත්
කේන්තියෙන් උත්තර දුන්නා. ‘එයා හොඳටම අසනීපවෙලා ඉන්නේ. මම ආවේ එයාට ආශ්චර්ය අරගෙන යන්න’
‘මොකක්ද කිව්වේ’
ඖෂධවේදියා
පුදුමයෙන් වගේ ඇහුවා.
‘මගේ මල්ලිගේ නම ඇන්ඩෲ. එයාගෙ ඔළුව ඇතුළේ මොකක් හරි නරක
දෙයක් තියෙනවා. මගෙ තාත්තා කිව්වා දැන් නම් ආශ්චර්යයකටම විතරයි එයාව
බේරගන්න
පුළුවන් කියලා. ඉතින් මට කියන්න ආශ්චර්යය කීයක් විතර වෙයිද’
‘අපි මෙහෙ ආශ්චර්ය විකුණන්නේ නැහැ පුංචි කෙල්ලේ. සමාවෙන්න, මට ඔයාට
උදව්වෙන්න විදිහක් නැහැ’ ඖෂධවේදියා ඒ පාරනම් බොහොම නිවුණු හඩින්්
කිව්වා.
‘මේ අහන්න ඒකට ගෙවන්න මගේ ළඟ සල්ලි තියෙනවා. මදිවුණොත්
ඉතුරු ටික මම පස්සේ ගෙනත් දෙන්්නම්. මට කියන්න ඒක කීයක් විතර වෙයිද?’
‘ඖෂධවේදියාගේ මල්ලි පැත්තකට වෙලා මේ කතාව අහගෙන හිටියා.
එයා බොහොම ජැන්ඩියට ඇඳගෙන හිටපු
මහත්තයෙක්. එයා පුංචි ටීෂා දිහාට නැවිලා
ඇහුවා.
‘ඔයාගෙ මල්ලිට මොනවිදිහේ ආශ්චර්යයක්ද ඕනකරන්නේ?’
‘මම දන්නෙ නැහැ’ කඳුළු පිරිච්ච දෑසින්
ටීෂා උත්තර දුන්නා. ‘මම දන්න විදිහට එයාට හොඳටම සනීප නැහැ. අම්ම
කිව්වා එයාට ඔපරේෂන් එකක් කරන්න වෙයි කියලා. නමුත් තාත්ත ගාව සල්ලි නැහැ. ඉතින් මම
හැදුවේ මගේ ළඟ තියෙන සල්ලිවලින් එයාලට උදව්වෙන්න’
‘ඔයා ළඟ කීයක් තියෙනවද’ චිකාගෝවල ඉඳල ආපු
මහත්තයා ඇහුවා ‘ඩොලර් එකයි සත එකොළහයි’ ටීෂා ඇහෙන
නොඇසෙන හ`ඩින් උත්තර දුන්නා. ‘එච්චරයි මගේ ළඟ දැන්
තියෙන්නේ. නමුත් මදිනම් මට තව ටිකක් හොයාගන්න පුළුවන්’
‘මාර ගනුදෙනුවක් තමයි’ මහත්තයා හිනාවුණා. ‘ඩොලර් එකයි සත
එකොළහයි, පුංචි මල්ලියාගේ ආශ්චර්යය වෙනුවෙන් හරියටම ගෙවන්න තියෙන මුදල’. ඔහු එක අතකින්
සල්ලි ටික අරගෙන අනිත් අතින් පුංචි ටීෂාගේ අත අල්ලගත්තා.
‘මාව ඔයාගේ ගෙදරට එක්කන් යන්න. මුලින්ම මට ඔයාගෙ මල්ලිව
බලන්න ඕනෙ. ඊට පස්සෙ මට ඔයාගෙ අම්මයි
තාත්තයි එක්ක කතා කරන්න ඕනෙ. ඊට පස්සේ අපි බලමු මගේ ළඟ ඔයාට ඕන කරන ආශ්චර්යය තියෙනවද කියලා’
‘ මේ ඔපරේෂන් එක’ ටීෂාගේ අම්මා දරාගන්න බැරිතරම් සංතෝෂෙකින් කෙඳුරුවා. ‘ඇත්තටම ඒක
ආශ්චර්යයක්. මට පුදුමයි. ඇත්තටම ඒකට කීයක් විතර වියදම් වෙන්න ඇතිද?’
පුංචි ටීෂා
හිනා වුණා. මොකද එයා විතරයි දන්නේ මේ ආශ්චර්යයේ ගාණ හරියටම කීයද කියලා. ඩොලර් එකයි
සත එකොළහයි. ඒකට එකතු වුණා පුංචි ඇන්ඩෲගේ
වාසනාවත්.
හිතන්න
මේ සතියෙ
පුරාවට
සමන් සමරක්කොඩි.
No comments:
Post a Comment