Saturday, August 17, 2013

Hayaweni Pituwa!

හයවෙනි පිටුව. 



ශිරාල් ගියපාර එයාගේ කොලමෙන් කියලා තිබුණා.  විපක්ෂයේ අවුලෙහි පවතින ප‍්‍රධාන ලක්ෂණය වී ඇත්තේ ඒකී බලවේගය නියෝජනය කරනු ලබන නායකයන්ද ඒ තුළ ක‍්‍රියාත්මක වන ඇතැම් බලවේගද වෙනස් නොවී ඉදිරියට ගමන් කිරීමෙන් තමන්ගේ අරමුණු ඉටුකර ගත හැකි වෙතැයි යන විශ්වාසයේ නිමග්නව සිටීමයි. ඒකී කණ්ඩායමට ඇතුළත්ව ඇති අලූත් පුද්ගලයා රන්දිවපුවත්පතෙහි කර්තෘවරයායිකියලා. එතකොට ශිරාල් මේ කියන්නේ එයා එජාපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කළා. නමුත් ඒ සටන පක්ෂයේ ඉන්න ඇතැම් පිරිස්වලටත් එයාගේ මිතුරන්ටත් ඊට අමතරව එයාගේ මිතුරෙක් වෙච්ච රන්දිවකතුවරයාටත් තේරෙන්නෙ නෑ කියලා.

ඔව් අපි දන්නවා ශිරාල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලංකාවේ ස්ථාපිත කරන්න, එජාපයට ගේන්න, ශ‍්‍රීලනිපයට ගේන්න, උතුරට ගෙනියන්න නායකයෝ ගොඩක් යටතේ වැඩ කළා. ශිරාල් මේකට චන්ද්‍රිකා යටතේ වැඩ කළා, ජී.එල්. යටතේ වැඩ කළා, රනිල් යටතේ වැඩ කළා, සජිත් යටතේ වැඩ කළා, කරු යටතේ වැඩ කළා, ෆොන්සේකා යටතේත් වැඩ කළා. නමුත් ශිරාල් පතන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, එයාට එජාපයට ගේන්න බැරිවෙලා තියෙනවා, රටට ගේන්න බැරිවෙලා තියෙනවා, උතුරට ගෙනියන්නත් බැරිවෙලා තියෙනවා. ඉතින් ශිරාල්ම කියන විදියට ශිරාල්ගේ ඓතිහාසික භෞතිකවාදී ප‍්‍රයත්නය දිහා බලනකොට මට මතක් වෙනවා කවියක්.

එකෙක් ඇත දත් බෙහෙත් විකුණන
මරදාන දුම්රියපොළේ
එකක්වත් උගේ කටේ දත් නැත
බෙහෙතේ තිබෙන තෙද බලේ

ශිරාල් කියන විදියට, ශිරාල් කියන දේ අහලා අපි ඔක්කොම ශිරාල්ව පිළිගන්න  ඕන. කෝ එතකොට ශිරාල්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදේ? එතකොට ශිරාල් රටට ගේන්න හදපු, පක්ෂයට ගේන්න හදපු, උතුරට ගෙනියන්න හදපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශිරාල්ගේ භාවිතාව තුළ නෑ. රන්දිවකර්තෘවරයා විදිහට මට මම පිළිගන්න දේ ලියන්න තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය මගේ උගත් මිත‍්‍රයා පිළිගන්නෙ නෑ.

 වතුර ඉල්ලා පාරට බැහැලා අඬා වැටුණු වැලිවේරියේ සෙනඟට ආණ්ඩුවේ මිලිටරි යන්ත‍්‍රණය විසින් වෙඩි තබා, පහර දී තුන්දෙනෙක් මරලා තවත් විස්සකගේ තිහකගේ අතපය කඩලා ඉස්පිරිතාලේ යැව්වා. එතකොට මේ සිදුවීම් රූපවාහිනියෙන් නරඹමින් කිඹුල් කඳුළු හෙළුව මහසෙනඟකුත් මේ රට පුරා හිටියා. මේ සෙන`ග තාමත් උදේ වැඩට යන්න කලින් තේ එක බොන ගමන් තමන්ගේ බිරින්දෑවරුන් එක්ක මේ මිලිටරි යන්ත‍්‍රණයට සහ මේකට අණ දීපු පාලකයාගේ සිට පාලක පැලැන්තියටම බනිනවා. ඊට පස්සේ බස් එකේ හරි කෝච්චියේ හරි යනකොට හම්බවෙන යාළුවොත් එක්කත් බනිනවා. රැුකියාවට ගියහම රැුකියා ස්ථානයෙත් බනිනවා. කඩමණ්ඩියට ගියාම කඩමණ්ඩියේදීත් බනිනවා. ඒ විදිහට සතිය පුරාවටම බැනපු සෙනඟම, වැලිවේරියේ වතුර ඉල්ලලා අඬපු සෙනඟ ඝාතනය කිරීමට අණ දුන් පාලක පැලැන්තිය විවෘත කරපු කොළඹ වරාය බලන්න ගෑනුයි ළමයිනුයි ඉස්සර කරගෙන සෙනසුරාදාට එනවා. මේක තමයි ආශ්චර්යය.


එතකොට මෙතැනදී අපි ජනාධිපති මහින්දට මතක් කරන්න  ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අලූතින් මේක ආසියාවේ ආශ්චර්යය කරන්න මහින්ද මහන්සි වෙන්න  ඕන නෑ. මේක තමයි ආශ්චර්යය. මේක ආසියාවේ විතරක් නෙවෙයි, මේක තමයි මුළු ලෝකෙම ආශ්චර්යය.
මේ තමයි අපි හැමදාමත් පුන පුනා කියන ප‍්‍රශ්නේ. අපි දිගින් දිගටම කියනවා වගේ සෙනඟ කරන්නේ යම් සිදුවීමක් වෙනකොට ඒකට ප‍්‍රතිචාර දක්වන එක විතරයි. එහෙම නැතුව සිදුවන සමස්ත ක‍්‍රියාවලිය දිහා සවිඥානිකව බලලා, ඒ ක‍්‍රියාවලිය වෙනස් කරන්න, ඒක හොඳ  දිශානතියකට තල්ලූ කරන්න, සෙනඟට  ඕන නෑ. ඒකට හොඳම උදාහරණයක් පසුගිය සතියේ අපි වැලිවේරියේදීම දැක්කා.
වැලිවේරියේ ඛේදවචාකයෙන් පස්සෙ එක්තරා සොල්දාදුවෙක් ගිහින් තියෙනවා, වැලිවේරියේ කඬේකට. කෝලා වර්ගයේ බීම බෝතලයක් ගන්න. සොල්දාදුවා කඬේ මුදලාලිගෙන් බීම එකක් ඉල්ලූවාම මුදලාලි කියනවා, ඒ බීම ජාතිය නෑ කියලා. නමුත් සොල්දාදුවාට පේනවා, ඒ බීම ජාතිය ගොඩගහලා තියෙනවා. එතකොට සොල්දාදුවා අහනවා, ඇයි මුදලාලි අර තියෙන්නෙ, ඇයි තියාගෙන නෑ කියන්නෙ කියලා. එතකොට මුදලාලි සොල්දාදුවා දිහා බලලා කියනවා, ‘ඔව් තියෙනවා තමයි, නමුත් විකුණන්නේ නෑකියලා. ඔය විදියට මේ සොල්දාදුවා කඩවල් ගණනාවකට යනවා, නමුත් එක කඬේකින්වත් සොල්දාදුවාට බීම ලැබෙන්නෙ නෑ. ආරංචියේ හැටියට නම් සොල්දාදුවාට එදා වැලිවේරියෙන් බීම ලැබිලා නෑ. වැලිවේරියේ සෙනඟ දැන් කියන්නෙ මීට පස්සෙ සොල්දාදුවන්ට වැලිවේරියෙන් වතුරවත් නෑකියලා. එදා යුද ජයග‍්‍රහණයෙන් පස්සෙ පාරේ කිරිබත් උයපු, කැවුම් කොකිස් උයපු, රතිඤ්ඤා පත්තු කරපු, බජව් දාපු, රණවිරුවන් දිනේවා කියලා බැනර් දාපු වැලිවේරියෙන් දැන් හමුදාවට වතුරවත් ලැබෙන්නෙ නැහැ.

ඒක එහෙම වෙනකොට මට තවත් අපූරු කතාවක් අහන්න ලැබුණා. ඇමෙරිකාවේ ඩලස් ප‍්‍රාන්තයේ ජීවත් වෙන මගේ මිත‍්‍රයෙක් මීට දවස් හතරකට පහකට කලින් ලංකාවට ආවා. එයා පසුගිය දවසක කිංස්බරි හෝටලයට ගිහිල්ලා දිවා ආහාරය අරගෙන එළියට එනකොට එයා දැක්කලූ මහා විශාල සෙනඟක් ගෝල්ෆේස් පිට්ටනියේ පිරිලා, අර  කාලතුවක්කු හයි කරලා තියෙන තැන්වල බත් පාර්සල් ලිහාගෙන, තියාගෙන දරු මල්ලොත් එක්ක කනවා. මගේ යාළුවා පාරට ඇවිල්ලා, එක තරුණයෙක්ගෙන් ඇහුවලූ මල්ලි කොහොමද වරාය හොඳද?’ කියලා. එතකොට තරුණයා කියනවලූ කියලා වැඩක් නෑ අයියා, මෙහෙම දෙයක් ලංකාවේ තියෙයි කියලා කවුද දන්නෙ?’ කියලා. එතකොට මගේ මිත‍්‍රයා අහනවා මල්ලි කොහෙද?’ කියලා. එතකොට තරුණයා කියනවා, ‘මම අඟුණකොළපැලැස්සේ පාන්දර දෙකේ බස් එකේ නැගලා තමයි ආවේකියලා. එතකොට මගේ මිත‍්‍රයා කිව්වලූ ඔව්, ඔව් මල්ලි මේවාත් මෙහෙම වෙන එක හොඳයි. නමුත් අර වැලිවේරිය පැත්තේ වගේ වෙච්ච සිදුවීම් වෙන එක හොඳ නෑ නේද? අපේ රට ජාත්‍යන්තර වශයෙන් කොන් වෙනවා නේද?’ කියලා. එතකොට අර තරුණයා කියනවලූ මොන පිස්සුද අයියා. මොනවද ඔයා මේ කියවන්නේ? උන් වතුර ඉල්ලලා කෑ ගැහුවා.  ඕනවට වඩා දැඟලූවා. ඉතින් එහෙම වෙනකොට බලන් ඉන්න කියලද අයියා කියන්නේ?’ කියලා.

ලස්සනම වැඬේ තමයි මගේ යාළුවට මේ වෙලාවේ හම්බවෙලා තියෙනවා එක පවුලක්. ඒ පවුල වෙන කොහෙවත් නෙමෙයි වැලිවේරියේ. ඒ පවුල වැලිවේරියේ කියලා දැනගත්තම මගේ යාළුවා තක්කුමුක්කු වෙලා. ඊට පස්සේ එයා අර පවුලෙන් අහලා තියෙනවා මේ ඊයේ පෙරේදා ටිකක් කනගාටුදායක සිද්ධියක් එහේ වුණා නේද?’ කියලා. එතකොට අර මිනිස්සු කියනවාලූ, ‘අනේ.... ඒක නේන්නම්. හරි අපරාධයක් තමයි සිද්ධ වුණේ. එක අතකට  ඕවාට මොනවා කරන්නද? ඒක ඒ  මිනිස්සුන්ගේ කරුමේ වෙන්න ඇතිකියලා. එතකොට මගේ මිත‍්‍රයා අහලා තියෙනවා ඔයගොල්ලන්ට ඔය වතුර ප‍්‍රශ්නෙ නැද්ද?’ කියලා. අයියෝ අපිට විතරක් නෙවෙයි මහත්තයා, වැලිවේරියේ ඉන්න සියයට 90කටම ඔය ප‍්‍රශ්නෙ තියෙනවාකිව්වලූ. ඊට පස්සෙ මගේ මිත‍්‍රයා අහනවා එතකොට ඔයගොල්ලෝ ඔය උද්ඝෝෂණයට ගියෙ නැද්ද?’ කියලා. එතකොට ඒ පවුලේ ගැහැනු මනුස්සයා කියනවාලූ අපිටත් එහෙනම් වෙඩි කන්න තමයි වෙන්නෙ. අපි අපේ පාඩුවේ ඉන්නවා. මොකද අපි පාරට බැහැලා කෑ ගැහුවාට මොකවත් වෙනස් වෙන්නෙ නෑනේ?’ කියලා.
ඔන්න නියම සෙනඟ. මේ සෙනඟට කිසිම සමාජ දේශපාලනික සවිඥානයක් නෑ. ඒගොල්ලෝ කරන්නෙ සිදුවීම්වලට ප‍්‍රතිචාර දක්වන එක විතරයි. වැලිවේරියේදී වතුර නැති වෙනකොට ඒකට කෑ ගහනවා. ඒක නවත්තන්න වෙඩි තියලා මැරුවට පස්සෙ සොල්දාදුවන්ට කඩවලින් බඩු විකුණන්නේ නෑ. නමුත් වරාය විවෘත කරනවා, බලන්න වරෙල්ලා කිව්ව ගමන් ඒකත් බලන්න දුවලා යනවා.
මේ සෙනඟට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයි. මානව ගරුත්වය අවශ්‍යයි. මානව නිදහස, සමාජ සාධාරණත්වය අවශ්‍යයි කියලා, හිතන මිනිස්සු ටිකකුත් මේ රටේ ඉන්නවා. ඒ එක කොටසක් තමයි මාධ්‍යවේදීන්. තව කොටසක් තමයි රාජ්‍ය නොවන සංවිධානවල ඉන්න ඇතැම් සිවිල් ක‍්‍රියාකාරිකයෝ. ඊළඟ පිරිස තමයි විපක්ෂය.
එතකොට සෙනඟට අර කිව්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව ගරුත්වය, මානව නිදහස වගේ දෙවල් දිනා දෙන්න පත්තරකාරයෝ කොළ පිරෙන්න, තීන්ත ඉවර වෙනකල් ලියනවා. සිවිල් ක‍්‍රියාකාරිකයෝ රට පුරා සම්මන්ත‍්‍රණ තිය තියා, දේශන තිය තියා, ‘ජනතාවනි නැගිටපල්ලාකිය කියා, සෙනඟ කුලප්පු කරමින් යනවා. ඒ වගේම විපක්ෂයත් ජනතාවට මේවා ලබාදෙන්න කියලා, පසුගියදා 14 වැනිදා ලොකුවට උද්ඝෝෂණයක් කරන්න ලෑස්ති වුණා. වැලිවේරියේ ඝාතනය වුණේ පසුගිය 01 වැනිදා. මේ සිදුවීම වෙලා දවස් 13කට විතර පස්සෙ තමයි හීනෙන් නැගිට්ටා වගේ විපක්ෂය දවස් ගාණක් අරගෙන, හොඳට සූදානම් වෙලා මේ උද්ඝෝෂණය කරන්න 14 වැනිදා ගියේ.

උද්ඝෝෂණයට රනිල් ආවම තමයි රනිල්ට තේරුණේ අම්මට හුඩු කවුරුත් නෑ. මං විතරයි. දාහක්වත් සෙනඟ නෑකියලා. ඒ වෙලාවේ වෙච්ච අනිත් විහිළු වැඬේ තමයි මහින්දත් මේ හිටි ගමන් තේ කෝප්පේ කිඹුලෝ දැක්කා වගේ උසාවියට දුවපු එක. මහින්දට මේ පොළොව තේරෙනවා වුණාට, මහින්දටත් මේ සෙනඟ හරියට තේරෙන්නෙ නෑ. මහින්ද ඒ නිසා බයවෙලා ඉක්මනට එයාගේ පොලීසිය උසාවියට යවලා නියෝගයක් ගත්තා, මේ විපක්ෂයෙන් ගේනවා කිව්වා යෝධ සෙනඟ නවත්තන්න. ඇත්තටම මහින්ද දැන් මේවට බයවෙන්න  ඕන නෑ. මහින්දට කරන්න තියෙන්නෙ, මේ වගේ දෙයක් වෙනවා කියලා දැනගත්ත ගමන් තව කොහේහරි තියෙන ආශ්චර්යයක් සෙනඟට බලන්න විවෘත කරන එක විතරයි.

එතකොට පසුගිය 14 වැනිදා අර වරාය බලන්න ගිය සෙනඟ නිසා ගෝල්ෆේස් පැත්තේ විශාල තදබදයක් වෙලා. හැබැයි කොටුවේ විපක්ෂය කරපු වැඬේට දාහක්වත් ඇවිල්ලා නෑ. රූපවාහිනියේ කිව්වා වරාය බලන්න ලක්ෂ 20ක් විතර සෙනඟ ආවා කියලා. ඒ කියන්නෙ මේ රටේ ඉන්න මුළු සෙනෙඟන් දහයෙන් එකක් වරාය බලන්න ඇවිල්ලා. හැබැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන්න දාහක්වත් නෑ. ඒ කියන්නේ රටේ ඉන්න මුළු සෙනෙඟන් සියයට 0.05ක්වත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නෑ. එතකොට එහෙම තියාගෙන තමයි මගේ අතිජාත මිත‍්‍ර ශිරාල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නේ. පළාත් සභාවේ ස්වාධීන වෙන්නේ. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධීන් කියලා කියන්නේ. ශිරාල්ගේ ඓතිහාසික භෞතිකවාදය කෙසේ වෙතත් ශිරාල්ගේ භෞතිකයේ තියෙන ඓතිහාසිකත්වය පේන කොට මතක් වෙච්ච කවිය මම මේ කොලමේ උඩින්ම ලිව්වා. සයිස් එක හරි නම් කවුරු කවුරුත් තොප්පිය දාගත්තට කමක් නෑ.


සමන් සමරක්කොඩි.

1 comment:

  1. බොහොම අහම්බෙන් ගොඩ වුනේ දැනෙන්නම ලියල තියෙනවා සුබ පතනවා නුබට අසාදාරනයට අයුක්තියට එරෙහි 0.05 අතරෙ ඉදපු චීන වරාය බලන්න ගියපු 1/10 ඇතුලෙ නොයිදපු එකෙක් විදියට

    ReplyDelete