Thursday, January 9, 2014

Tongue

දිව.


ලාඕසේ ඇඳුරුතුමන් මරණමංචකයේ සැතපී සිටියා. එතුමන්ගේ කැඳවීමට අනුව එතුමන්ගේ හොඳම අනුගාමිකයන් පස්දෙනා අවසන් වරට එතුමන් වටා රැස් වී සිටියා. තමන් මේ ගතකරන්නේ ජීවිතයේ අන්තිම හෝරා කීපය බව අනුගාමිකයන්ට පැවසූ ලා ඕසේතුමා, එක් එක් අනුගාමිකයා බැගින් ළඟට කැඳවා ඔවුන්ගේ දඹර ඇඟිල්ල එතුමාගේ මුව තුළට දමන ලෙස පැවසුවා.

‘ඔබේ ඇඟිල්ලට දැනෙන්නේ කුමක්ද? ලා ඕසේතුමන් ගෝලයන්ගෙන් විමසා සිටියා. ‘ඔබ තුමන්ගේ දිව’ අනුගාමිකයන් පැවසුවා. මෙපරිද්දෙන් අනුගාමිකයන් පස්දෙනාම එකම පිළිතුර දුන්පසු, ලා ඕසේතුමන් ඔවුන් ඇමතුවා, ඔව්, මා මුව තුළ දැන් ඉතිරිව ඇත්තේ දිව පමණයි. නමුත් මීට වසර ගණනාවකට පෙර මගේ උඩු ඇන්දේ සහ යටි ඇන්දේ ලස්සන මුතුවන් දත් පේළි දෙකක් පිහිටා තිබුණා. ඒවා බෝහෝම සවි ශක්තිමත් වගේම බොහෝම දරදඬුයි. ඕනෑම දෙයක් හපා කීතු කීතු කර පොඩි පට්ටම් කිරීමේ හැකියාව ඒවාට තිබුණා.

නමුත් මගේ දිව එහෙම නෙවෙයි. දිවට දැනෙන පැණි රසක් වේවා, තිත්ත රසක් වේවා, ලූණු රසක් වේවා, ඇඹුල් රසක් වේවා, කහට රසක් වේවා, ඕනෑම දෙයක් උපේක්ෂාවෙන් බාර ගත්තා. දිවට එහෙම වෙන්න පුළුවන් වුණේ දිවේ තිබුණු නම්‍යතාව නිසා. ඒ නිසාම දිව අදටත් මාත් සමග එදා වගේම ඉන්නවා. ඒ නිසා මා ඔබටත් කියන්නේ දිව වගේ නම්‍යශීලී වන්න. ජීවිතයට එළැඹෙන දුකසැප දෙකේදීම උපේක්ෂාවෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් දත්වලට වඩා වැඩි කාලයක් ඔබට පවතින්න හැකියාව ලැබේවි. බුදුරජාණන්වහන්සේගේ සමකාලීනයකු වූ චීනයේ විසූ සුප‍්‍රකට දාර්ශනිකයකු වූ ලා ඕසේතුමන්ගේ අවසන් පණිවුඩය වුණේ මෙයයි. ඒ පණිවුඩය එදාට වගේම කොයිතරම් මෙදාටත් ගැළපෙනවද?

හිතන්න,

මේ සතිය පුරාවටම.

සමන් සමරක්කොඩි.

Wednesday, January 1, 2014

HaPpy 2014

සුබ අළුත් අවුරුද්දක් වේවා...!!!!

දිගටම යන්න...


අපේ උපාධි ප‍්‍රධානෝත්සවය තිබුණේ වියලි නමුත් සීතල සුළං හමන දෙසැම්බරයේ දවසක. දෙසැම්බර් සීතලෙන් අවදිවන මතකයක් අවුරුද්දක් ඉවරවෙලා අවුරුද්දක් ලබනකොට ඔයත් එක්ක බෙදාගන්න හිතුනා.
උපාධි අපේක්ෂකයන් පෝලිමේ ෙවිදිකාව උඩට ගිහින් කුලපති තුමාගෙන් උපාධිය ගන්නකොට කුලපති තුමා උනුසුම් සිනාවකින් සංග‍්‍රහා කරලා අතට අත දීලා හඬ නගලා කියනවා ‘කොන්ග‍්‍රැජුලේෂන්’ කියලා. ඊට පස්සේ හඬ ටිකක් බාලකරලා, නමුත් ඉතාම ස්ථාවර හා ශක්තිමත් ස්වරයකින් උපාධිදාරියාට විතරක් ඇහෙන්න කියනවා ‘දිගටම යන්න’ කියලා.

කුලපතිතුමා එහෙම කියලා උත්සහ කරන්නේ වේදිකාවේ තදබදයක් නොවන අයුරින් පිරිස ඉක්මනින් වේදිකාව හරහා යැවීම වුණත් ඒ වචනේ අපේ මුුලූ ජීවිත කාලෙටම ඉතාම වැදගත් අවවාදයක් කරගන්නත් පුලූවන් නේද කියලා මට හිතුණා. ‘දිගටම යන්න’ ජීවිතේ අපි ළඟා කරගන්නා සෑම ජයග‍්‍රහනයකදීම උපාධියක් ගන්නකොට, විවාහයක් කරගනිද්දී, රැකියාවෙන් උසස්වීමක් වෙද්දී, වෙන එකක් තියා විශ‍්‍රාම යනකොට පවා ගන්න තියෙන හොඳම අවවාදය තමයි ‘දිගටම යන්න, නවතින්න එපා, එකතැන පල්වෙන්න එපා’ කියන එක.
ඔයා ජීවිතේ ලබා ගත්ත දේට වඩා තව හුඟාක් දේ ලබාගන්න තියෙනවා. මේක අවසානය නෙවෙයි. තාම ආරම්භ වුණා විතරයි. ‘දිගටම යන්න’.
මේ ආකල්පයෙන් අලූත් අවුරුද්ද පටන් ගන්න. ඔයාට ම තේරෙයි ඔයා, ඔයා වෙනුවෙන් කොයිතරම් දේවල් ඔයා තුළම ගබඩා කරගෙන ඉන්නවද කියලා.




හිතන්න,

මේ සතිය පුරාවටම.


සමන් සමරක්කොඩි.

Sunday, December 29, 2013

blind child

ඔයා දැක්කද? ඒ ලස්සන...



අන්ධ ළමයෙක් පාර අයිනේ ගොඩනැගිල්ලක් ළඟ ඉඳගෙන හිටියා. එයාගේ කකුල් දෙක ළඟ ටින් එකක් තිබුණා. එයාගේ ඔළුවට උඩින් බිත්තියේ එල්ලලා තිබුණු බෝඞ් එකක මෙහෙම ලියලා තිබුණා. ‘මගේ ඇස් දෙකම පේන්නේ නෑ. පිනට මුකුත් දෙන්න’ ළමයාගේ ටින් එකේ තිබුණේ කාසි කිහිපයක් විතරයි. ළමයා ළඟින් ගිය මහත්තයෙක් සාක්කුවට අත දාලා කාසි කිහිපයක් අරගෙන ටින් එකට දැම්මා. ඊට පස්සේ අර බිත්තියේ තිබ්බ බෝඞ් එක අතට ගත්තා, ඒකෙ අනිත් පැත්තේ මොන මොනවදෝ ලිව්වා. බෝඞ් එක තිබුණු තැනම එල්ලලා යන්න ගියා. එතැනින් යන හැම කෙනෙක්ටම මේ අලූත් දැන්වීම පෙනුණා.
ටික වෙලාවක් යනකොට අර ටින් එක පිරුණා. ගොඩක් මිනිස්සු අන්ධ ළමයාට පිනට දීලා තිබුණා. ඇඳිරි වැටීගෙන එනකොට දැන්වීම වෙනස් කරපු මහත්තයා වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න ආවා. අන්ධ ළමයා අඩි සද්දෙන් මහත්තයාව හඳුනගත්තා. ‘ඔයා නේද අද උදේ මගේ දැන්වීම වෙනස් කළේ. මොකද්ද ඔයා ඒකේ ලිව්වේ?’ එතකොට අර මහත්තයා කියනවා, ‘ විශේෂ මුකුත් නෑ. මම ලිව්වෙත් ඔයා ලියලා තිබුණු දේම තමයි. නමුත් ටිකක් වෙනස් විදිහට’ හොඳයි ඔයා දන්නවාද මොකද්ද එයා ලියලා තිබුණේ කියලා? එයා ලියලා තිබුණේ ‘අද හරිම ලස්සන දවසක්. නමුත් මට ඒ ලස්සන පේන්නේ නෑ’ කියලා. දැන් ඔයා හිතන්නේ පළමු දැන්වීමයි දෙවැනි දැන්වීමයි දෙකම එකයි කියලද?


ඔව්, ඇත්තෙන්ම දැන්වීම් දෙකෙන්ම කියන්නේ ළමයා අන්ධයි කියලා. නමුත් පළමු දැන්වීමෙන් ළමයා අන්ධයි කියන එක අමුවෙන්ම කියනවා. ඒත් දෙවැනි දැන්වීමෙන් කියන්නේ ඇස් දෙකම පේන මිනිස්සු කොයිතරම්
වාසනාවන්තද කියලා. ඇත්තෙන්ම දෙවැනි දැන්වීම දකින ඕනෑම කෙනෙකුගේ හිතට ලොකු අනුකම්පාවක් එනවා අර ළමයා ගැන. මිනිස් හිතට ලොකු බලපෑමක් කරන්න ඒ වචනවලට පුළුවන්. එහෙම නම් ඔයත් නිර්මාණශීලී වෙන්න, අලූත් වෙන්න, වෙනස් විදිහට වගේම ධනාත්මකව හිතන්න. මේ ජීවිතේට කවදාවත් නිදහසට කරුණු කියන්න එපා. ජීවිතේ ඔයාට අඬන්න හේතු 100ක් දෙනකොට, ජීවිතේට පෙන්නන්න ඔයාට හිනාවෙන්න හේතු 1000ක් තියෙන බව. කනගාටුවක් නැතිව අතීතය මෙනෙහි කරන්න. විශ්වාසයෙන් යුතුව වර්තමානයේ හැසිරෙන්න. ඒ වගේම බය නැතුව අනාගතයට ලෑස්ති වෙන්න. ජීවිත ගමන බයක් නැතුව ගමන් කරන්න නම් ඔයා ළඟ තියෙන්න ඕන යහපත් හෘදසාක්ෂියේ ටිකට් එක. මේ සුන්දර ලෝකේ කෙනෙක්ට දකින්න පුළුවන් ලස්සනම දේ තමයි තව කෙනෙකුගේ හිනාව. ඊටත් වඩා ලස්සන දේ තමයි, ඒ හිනාව පිටිපස්සේ ඔයා ඉන්නවා කියන එක දැන ගැනීම!!!




හිතන්න,

මේ සතිය පුරාවටම.

සමන් සමරක්කොඩි.

Saturday, September 7, 2013

Sad

දුකත් ලූණු වගේ


එක දවසක් අසතුටෙන්් ඉන්න තරුණයෙක් වයසක ගුරුවරයෙක් ළඟට ආවා. තමන් මහත් දුක්බර ජීවිතයක් ගත කරන බවත් ඉන් ගැළවීමට මඟක් කියාදෙන ලෙසත් ඉල්ලා සිටියා. වයසක ගුරුවරයා අසතුටෙන් ඉන්න තරුණයාට කිව්වා ලූණු අහුරක් අරගෙන වතුර වීදුරුවකට දාලා බොන්න කියලා.

 කටට ගත්ත වතුර ටික වතුර මලක් වගේ තරුණයාගේ කටින් එළියට විසිවුණා.

කොහොමද රස?’

ගුරුවරයා කොක් හඬලා සිනාසෙමින් ඇහුවා.

අන්තිමයි

 තරුණයා මූණ ඇඹුල් කරගෙන කිව්වා. ගුරුවරයා තරුණයාට කිව්වා තවත් ලූණු අහුරක් අරගන්න කියලා. ඊට පස්සෙ දෙන්නාම ඒ අසල තිබුණු විලක් ගාවට ගියා.

දැන් ඔය ලූණු ටික මේ විලට දාන්න

ගුරුවරයා කිව්වා. තරුණයා තමන් මිට මොළවාගෙන හිටිය ලූණු  අහුර විලට විසි කළා.

දැන් විලෙන් වතුර ටිකක් බොන්න

 ගුරුවරයා කිව්වා.

කොහොමද ඒකෙ රස?’


තරුණයාගේ නිකට දිගේ වතුර රූරා වැටෙද්දී ගුරුවරයා ඇහුවා.

හොඳයි!

තරුණයා කිව්වා.

ඔබට ලූණු රස දැනුණද?

ගුරුවරයා ඇහුවා.

කොහෙත්ම නෑ

තරුණයා උත්තර දුන්නා.

ඊට පස්සේ ගුරුවරයා පීඩාවට පත්වෙලා ඉන්න තරුණයා ළඟින්  ඉඳගත්තා.  ඔහුගේ අතින් අල්ලාගෙන මෙහෙම කිව්වා, ‘ජීවිතේට දැනෙන වේදනාවත් පිරිසුදු ලූණු වගේ, අඩුත් නෑ, වැඩිත් නෑ. ජීවිතේට විඳින්න වෙන  වේදනාව ප‍්‍රමාණාත්මකව ගත්තොත් එක සමානයි. ඒක වැඩි වේදනාවක්, අඩු වේදනාවක් කියලා වෙන්කරන්න බෑ. වේදනාව එක සමානයි. නමුත් අපිට ඒ වේදනාව දැනෙන ප‍්‍රමාණය තීරණය වෙන්නේ අපි ඒ වේදනාව බහාලන භාජනයේ ප‍්‍රමාණය අනුව. මීට පස්සේ ඔබට වේදනාවක් දැනෙන කොට ඒ වේදනාව දරාගන්න  පරාසය විශාල කරන්න. කිසිම වෙලාවක වීදුරුවක් වෙන්න එපා. හැමවෙලාවෙම විලක් වෙන්න උත්සහ කරන්න.




හිතන්න,

මේ සතිය පුරාවට....







සමන් සමරක්කොඩි.

Hayaweni Pituwa! 4

හයවෙනි පිටුව. 4

පසුගිය සතියේ දවසක ශිරාලූයි තවත් ආර්ථික විශේෂඥයෝ දෙන්නෙකුයි එකතුවෙලා ලංකාවේ ආර්ථික අභියෝග සහ අවශ්‍යතා කියලා පොතක් ලියලා එළියට දැම්මා.
මේ පොතෙන් මේ ගොල්ලෝ මේ රටේ තියෙන ප‍්‍රධාන ආර්ථික ප‍්‍රශ්න 7ක් ගැන සාකච්ඡුා කරනවා, ඒ එක්කම ඒ ගොල්ලෝ ඒ ප‍්‍රශ්නවලට විසඳුම ලෙස සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මොඩලය හඳුන්වා දෙනවා. ශිරාල්ලා කියන විදිහට මේ රටේ දැන්  මේ තියෙන ලිබරල් ආර්ථික ක‍්‍රමය කඩාගෙන වැටිලා ඉවරයි.  ඒ නිසා දැන් මෙතැනට අවශ්‍යයි යුරෝපයේ ආස්වාදයක්ව පැවති සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මොඩලය. නමුත් මෙතැනදී ශිරාල්ලා යෝජනා කරන්නේ සමාජවාදී ගුරුකුලයෙන් ආව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරිපත් කළ රෝසා ලක්සම්බර්ග්ගේ මොඩලය වෙනුවට බර්න්ස්ටයින්ගේ දක්ෂිණාංශික සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මොඩලය. මේ පොත එළිදක්වන උත්සවයේ ප‍්‍රධාන අමුත්තා විදිහට ඇවිත් තිබුණේ බැසිල් රාජපක්ෂ. මේක තමයි මට හැමදාමත් තේරුම් ගන්න බැරි ශිරාල්ගේ දෙබිඩි චින්තනය.

ශිරාල්ගේ පොතේ උත්සවයට ආරාධනාවක් ලැබිලා තිබුණත් නොවැළැක්විය  හැකි කාරණාවක් නිසා මට ඒකට යන්න බැරි වුණා. නමුත් මම මගේ මිත‍්‍රයාගේ වැඬේ ගැන හොයලා බලන්න අමතක කළේ නෑ. ඒක නිසා ශිරාල්ගේත් මගේත් අතිජාත මිත‍්‍රයෙක් වෙන අසංගයත් එක්ක පස්සේ දවසක ශිරාල්ලගේ වැඬේ ගැන කතා කරනකොට ශිරාල්ලගේ  පැය දෙක තුනක සම්පූර්ණ වැඬේ ගැන අසංගයා වාක්‍ය තුන හතරකින්  මරුවට කිව්වා. සමනා, ඒ ඉවෙන්ට් එකේ ලොකු දෙයක් වුණේ නෑ. ඒ පොත ගැනවත් ඒ ඉවෙන්ට් එක ගැනවත් කතා කරන්න දෙයක් නෑ. එතැන වුණේ එක දෙයයි. ඒ තමයි ලංකාවේ ඉන්න ලොකුම මංකොල්ලකාරයෝ ටික ගෙනැල්ලා එතැන වාඩි කරවලා රට කොහොමද හොඳට මංකොල්ලකන්නේ කියන න්‍යාය සැපයුව එක තමයි ශිරාල්  එතැන කළේකියලා.

දැන් අසංගගේ මේ කතාව අහපු වෙලාවේ මම හිනා වුණා වගේම, මේක කියවන පිරිසත් දැන් හිනාවෙන බව මම දන්නවා. නමුත් මතක තියාගන්න ඛේදවාචකය තියෙන්නේ ඔය හිනාව ඇතුළේම බව. මොකද අපි  හිනාවෙන්නේ වෙන කාටවත් නොවෙයි අපිටමයි. අසංගගේ කතාව ඇතුළේ තියෙනවා අද අපි හැමෝම අත්විඳින මේ මොහොතේ මේ රටේ ක‍්‍රියාත්මක වෙන මේ ආර්ථික මොඩලය සම්බන්ධව සමාජ දේශපාලනික ගැඹුරු විවරණයක්. පහුගිය දවසක ඒ ගැඹුර මම පෞද්ගලිකව අත්විඳපු අවස්ථාවක් මට අසංගගේ කතාවත් එක්ක මතක් වුණා. මගේ මිත‍්‍රයෙක්ගේ ගෙදර කාලයක් තිස්සේ අපජලය බැහැර කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා. අන්තිමේදී මගේ මිත‍්‍රයා මිනිස්සු දෙන්නෙක්ට එන්න කියලා මේ අපජලය ගලායන්න කාණුවක් කපලා, බට දාලා වැඩක් කළා.  එදා ඉරිදා දවසක් වුණත් හවස හතර හතරහමාර වෙනකොට මේ වැඩ කරන මිනිස්සු බොහොම කලබල වෙච්ච බවක් පෙනුණා.
පස්සේ තමයි අපි දැනගත්තේ මේ දෙන්නම මගේ මිත‍්‍රයා පදිංචිවෙලා ඉන්න නගර සභා බල ප‍්‍රදේශයට අයිති නගර සභාවේ සුළු සේවකයන් දෙන්නෙක් බව. මේ දෙන්නා එදා නගර සභාවේ කාඞ් එක ගහලා තමයි මේ මගේ මිත‍්‍රයාගේ ගෙදර වැඩට ඇවිත් තියෙන්නේ. හතර හතරහමාර වෙනකොට කාඞ් එක  ඕෆ් කරන්න  ඕන නිසා තමයි අර කලබල වෙලා තියෙන්නේ. එතකොට එදා ඉරිදා, නිවාඩු දවසේ වැඩ කරනකොට මේ දෙන්නට නගර සභාවේ  ඕ.ටී. ඊට අමතරව මගේ මිත‍්‍රයාගේ ගෙදර වැඬේ කළාට ගාස්තුව රුපියල් 2500යි. එතකොට එදා මේ කම්කරුවෝ දෙන්නට පඩි දෙකයි. එකක් වැඩක් කරලා. අනික කිසිම වැඩක් නොකර. නමුත් මේ පඩි දෙකම ගෙවන්නේ කවුද? අපි. ඒ සේවකයෝ දෙන්නා වැඩ කරන නගර සභාවට බදු ගෙවන, ආණ්ඩුවට බදු ගෙවන මම, මගේ මිත‍්‍රයා ඇතුළු මේ රටේ සෙනග. මම මේ කම්කරුවන්ගෙන්  ඇහුවා මෙහෙම වැඩ කීයක් විතර මාසෙකට කරනවාද කියලා. මේ වගේ පිට වැඩ හැම මාසෙකම 10ක් 15ක්වත් සෙට් වෙනවා  කියලා කිව්වා.  ඒ කියන්නේ  ඒ වැඩවලටත් 2500 ගාණේ අය කළොත් මාසෙකට පඩියට අමතරව 2500 ඒවා 10ක් 15ක්.  දැන් මේක තමයි අද මේ යන්ත‍්‍රණයේ තත්ත්වේ.  මේ රාජ්‍ය යන්ත‍්‍රණය ගත්තාම නගර සභාව කියන්නේ ඉතාම පල්ලෙහා තියෙන තැනක්. නමුත් මේ දුෂණය මේ නගර සභාවෙන් පල්ලෙහාටත්, උඩටත්  විහිදෙනවා. අද  ඕනම රජයේ ආයතනයකට පොඩි ලිපිගොනුවක් ගන්න ගියත් ලියුමක් ගන්න ගියත් එතැන වැඩ කරන පියන්ට රුපියල් දෙතුන් සීයක් මිට මොලවන්නේ  නැතිව ඒ වැඬේ කරගන්න බෑ. ඒක  පියන්ගේ ඉඳලා අදාළ ආයතනයේ සභාපතිවරයා දක්වා යනකොට රුපියල් තුන්සීයේ ඉඳලා මිලියන ගණනක් දක්වා ගාණ වැඩි වෙනවා.
මේකට තමයි කියන්නේ ලූබ්දි ආර්ථිකය නැත්නම් සබ්බෝල්ටන් ඉකොනොමි කියලා. එතකොට දැන් මේ ලංකාවම දුවන්නේ මේ කියන සබ්බෝල්ටන් ඉකොනොමි එක උඩ. ඒ අනුව මේ යන්ත‍්‍රණය ඇතුළේ ඉන්න සුළු සේවකයාට පවා මාර විදිහට එළියේ හම්බකරන්න පුළුවන් අවස්ථා හැදෙනවා.  නමුත්් මේවා එකක්වත් අජිත් නිවාඞ් කබ්රාල්ගේ මහ බැංකු වාර්තාවේ නෑ.  නිවාඞ් කබ්රාල්ගේ මහ බැංකු වාර්තාවේ තියෙන්නේ මොකක්ද? මෙච්චර කම්කරුවෝ ඉන්නවා. මේ අයගේ මූලික වේතනය මේකයි කියලා.  නමුත් ඒ මහ බැංකු වාර්තාවේ නෑ මේ කම්කරුවෝ නගර සභාවෙන් ගන්න පඩියට අමතරව තව එළියේ වැඩ කරලා දහ පහළොස් දාහක් හම්බ කරනවා කියලා. එතකොට මේ මහ බැංකු වාර්තාව අරගෙන, රටේ බඩු මිල ඉහළ ගිහිල්ලා, මිනිස්සුන්ට කන්න විදිහක් නෑ ජීවන අංකය ඉහළ ගිහිල්ලා, ජීවන අංකයට අදාළ ගෙවීම එකතු කරව් කියලා ගිරිය කඩාගෙන කෑ ගහන විපක්ෂේ නිකම්ම පච වෙනවා.


මෙතැනදී මට අසංග කිව්ව තව කතාවක් මතක් වෙනවා. එදා ශිරාල්ගේ පොත එළියට දාපු  දවසේ ? ශිරාල්ගේ ඔෆිස් එකේ ශිරාල් ඇතුළු මිත‍්‍රයෝ කිහිප දෙනෙක් සෙට් වෙනවා. මේකට විස්කි සපයන්නේ ශිරාල්ගේ මිත‍්‍රයෙක්්. එයා මේවා ගේන්නේ ඩියුටි ෆ‍්‍රී. එතකොට ඩියුටිත් එක්ක විස්කි ගන්නවා නම් ඒක රුපියල් හත් අට දාහක් වෙනවා. නමුත් ඩියුටි නැතිව එදා විස්කි අරගෙන තියෙන්නේ රුපියල් පන්දහස් දෙසීය ගාණේ.  ඒ කියන්නේ එතැන  එක බෝතලේකින් රුපියල් තුන්දාහක් විතර ලාබයි. එතකොට මේ විස්කි බෝතල් තුනෙන්ම රුපියල් නව දාහක් විතර වාසියි. දැන් මේකත් නිවාඞ් කබ්රාල්ගේ වාර්තාවේ නෑ. දැන්  මෙන්න මේ විදිහේ අපට නොපෙනෙන සබ්බෝල්ටන් ඉකොනොමියක් මේ රටේ අද  වැඩ කරනවා.  ඉතින්  රනිල් වික‍්‍රමසිංහ, හර්ෂ ද සිල්වා, රවි කරුණානායක, අනුර කුමාර දිසානායකලාට දැන්  දෙයියන්ගේම පිහිටයි.


දැන් මේ කොලම ලියනකොට කොට්ටාවේ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව අත්අඩංගුවට අරගෙන ලිිංගික අල්ලසක් ගන්න යනකොට. සාමාන්‍යයෙන් ලිංගික ශ‍්‍රමිකයෙක් ළඟට ගිහිල්ලා විදුහල්පතිගේ අමාරුව සන්තර්පනය කරගන්න ගියා නම් රුපියල් හාර පන්දාහක්වත් වියදම් වෙනවා එයාට  ඒ වැඬේට. එතකොට මේ රටේ විදුහල්පතිවරුන්ටත්  දැන් එහෙම වියදම් නොකර ඒ ආසාවන් සන්නතර්පනය කරගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.  මේක විදුහල්පතිවරුන්ට විතරක් නොවෙයි. තමන්ගේ බලය පාවිච්චි කරන්න පුළුවන්  ඕනම ලොක්කෙක්ට, වෛද්‍යවරයෙක් වේවා, නීතිඥයෙක් වේවා, මැතියෙක් වේවා, ඇමැතියෙක් වේවා, පොලිස් ලොක්කෙක් වේවා, මේ රාජ්‍යත්වයේ බලය නිසා අද මේ දේවල් නොමිලේ කරගන්න පුළුවන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. අපි මීට කලින් මේ කොලමෙන්  කිව්වා මේ රටේ සෙනගට අනුව මහින්ද රාජපක්ෂ කියන්නේ තවදුරටත් ජනාධිපතිවරයෙක් නොවෙයි රජෙක් කියලා.  රජෙක් ඉන්නකොට ඒ රටේ තවදුරටත් ඡුන්දෙන් පත්වෙච්ච මහජන නියෝජිතයො බලාපොරොත්තු වෙන්න බෑ. ඉන්නේ  ප‍්‍රාදේශීය පාලකයෝ.  ඒ නිසා තමයි මේ රටේ පළාත් සභා මන්ත‍්‍රීලා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීලා පහුගිය කාලේ රටේ රාළලා, මොහොට්ටාලලා, ආරච්චිලා වගේ හැසිරුණේ.  එතකොට මේ වගේ පාලන ක‍්‍රමයක් ඇතුළේ ඉන්න රජයේ නිලධාරීන් හැසිරෙන්නෙත් සෙන්පතිලා, විදානෙලා, වෙල් විදානෙලා, විල් විදානෙලා, වගේ රාජ්‍යත්වයේ නිලධාරීන් විදිහට. එතකොට මේ රටේ ඉන්න සෙනගට සිද්ධ වෙලා තියෙනවා මේවා මත යැපෙන්න. සෙනග යන්නේ නෑ මේක වෙනස් කරන්න.  පුරවැසියෝ ඉන්නවා නම් මේක වෙනස් කරනවා.  නමුත් සෙනග යන්නේ නෑ මේක වෙනස් කරන්න.  දැන් සෙනගත් මේක පිළි අරගෙන ඉන්නවා.  එතකොට ඇයි සෙනග මේක වෙනස් කරන්නේ නැත්තේ? ඒකට හේතුවත් අපි කලින් ලිව්වා. මේ රටේ සෙනගෙන් ලක්ෂ 15ක් විතර මේ රාජ්‍ය සේවයේ ඉන්නවා. ඒ කියන්නේ හැම පවුල් තුනකටම එකෙක් රජයේ සේවකයෙක්.  සමහර වෙලාවට තමන්ගේ පුතා වැඩ කරනවා වෙන්න පුළුවන් යක්කල ප‍්‍රාදේශීය සභාවේ. හැබැයි මහර ප‍්‍රාදේශීය සභාවෙන් වැඩක් කරගන්න නම් යක්කල ප‍්‍රාදේශීය සභාවේ පුතා හිටියා කියලා කරන්න දෙයක් නෑ මහර ප‍්‍රාදේශීය සභාවේ එකාට ජරාව දෙන්න  ඕන.  එතකොට මේ සෙනග මේ ක‍්‍රමේට විරුද්ධව කැරැල්ල ගහන්නේ නැත්තේ මේ විදිහට කළු සල්ලි ගෙදරට එන නිසා.  මේ විෂම චක‍්‍රය ඇතුළේ මේ ඔක්කොම හිරවෙලා. මේ සෙනග මේ විදිහට ආතල් එක දෙනවා, ආතල් එක ගන්නවා.  පගාව දෙනවා, පගාව ගන්නවා.  මේ පගාව විදිහට කළු සල්ලි අතට එනකොට ඒක මහන්සිවෙලා කරන හම්බකිරිල්ලක් නොවෙයි. මේවා ඊසි මනී. එතකොට ඊසි මනී - ඊසි කමින් - ඊසි ගොයින්. මේ විදිහට පුතා පගාව ගෙදර ගේනවා. අම්මා, තාත්තා පගාව දීලා වැඩ කරගන්නවා.

එතකොට මහින්දගේ් මේ ආර්ථික ප‍්‍රතිපත්තිය හරහා ඔය ශිරාල්ලා බලාපොරොත්තු වෙන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයවත් මොන බඩකඩිත්තුවක්වත් සිද්ධ වෙන්න බෑ. ශිරාල්ලා වගේ උගතුන්ට ඉස්සරහටත් ඔය වගේ පොත් ලිය ලියා ඉන්න එක විතරයි දෙයියන්ගේ පිහිටෙන් කරන්න වෙන්නේ. මොකද මහින්ද පැහැදිලිව  එක දෙයක් දන්නවා . ඒ තමයි මේ සෙනග හැමදාමත් දැක්කුවේ සංවිධානාත්මක සුළුතරයක් විසින්. ඒක ඉතිහාසේ ඉඳලාම එහෙමයි. ජේසුස්වහන්සේ කළෙත් ඒකයි. බුදුහාමුදුරුවෝ කළෙත් ඒකයි, නබි නායකතුමා කළෙත් ඒකයි, මහා ඇලෙක්සැන්ඩර් කළෙත් ඒකයි, සීසර්ගේ රෝම හමුදාව කළෙත් ඒකයි. සංවිධානාත්මක සුළුතරය විසින් තමයි මේ බහුතරය  හැමදාමත් මෙහෙයවන්නේ.  මහින්ද දන්නවා මේ රටේ එහෙම ප‍්‍රබල සංවිධානාත්මක සුළුතරයක් නැති වුණත් මේ රටේ අසංවිධිතව යම් බුද්ධිමය කොටසක් පවතින බව. ඒ ගොල්ලන්ගේ සමාජ ආර්ථික තත්ත්වය හැම තිස්සේම සැකසිලා තියෙන්නේ මේ මැද පංතිය කියන එක තුළ බවත් මහින්ද දන්නවා.

එතකොට ලෙනින් කියලා තියෙනවා මෙහෙම කතාවක්. මේ කම්කරු පංතියට විප්ලවේ කරන්න විඥානය නෑ. උන්ට උපරිමේ කරන්න පුළුවන් වෘත්තීය සමිතියක් පටන් අරගෙන ඉන්න එක තමයි. හැබැයි උන්ට අවශ්‍ය විප්ලවීය විඥානය දෙන්න  ඕන මැද පංතිය විසින් කියලා. එතකොට මේ රටේ මැද පංතියේ ඔය කියන බුද්ධිමතුන් ටික තමයි මේ රටේ මත නිෂ්පාදනය කරන්නේ.
මහින්ද කරන්නේ මේ මත නිශ්පාදනය කරන උන්ව එක්කෝ තමන්ගේ සාක්කුවට  දාගන්න ට‍්‍රයි කරනවා. එහෙම බැරි උන්ව නන්නත්තාර කරලා දානවා. එහෙම  මහින්දගේ සාක්කුවට වැටිච්ච පශ්චාත් නූතන ගුරු කුලයට අයිතිවෙලා හිටපු පිරිසකුත්, ඒ වගේම මුලින්ම ජනතා මිතුරෝ ව්‍යාපාරයේ හිටිය ඊනියා උගත්තු බහුතර ප‍්‍රමාණයකුත් එදා ශිරාල්ලගේ පොත එළියට දාන දවසේ ඇවිත් හිටියා කියලා අසංග කිව්වා. අද ඒ උගත්තු ඔක්කොම මහින්දගේ සංස්ථාවල ලොකු ලොකු සභාපතිකම් කරන ලොකු අයියලාලූ. එතකොට එහෙම බැරි උන්ට මහින්ද මොනවාද කරන්නේ? බැරි එවුන්ගේ ආර්ථිකය කුඩු පට්ටම් කරලා දානවා. ඒ කියන්නේ මහින්ද එන්න එන්න මේ මැද පංතියට තියෙන ආර්ථික අවකාශය අකුළවමින් ඉන්නවා. එතකොට එක්කෝ උන්ට වෙනවා මහින්දත් එක්ක සෙට්වෙලා මහින්දට සේවය කරන්්න. එහෙම නැත්නම් හිඟන්නෝ වගේ ජීවත් වෙන්න, එහෙමත් නැත්නම් රට දාලා  යන්න.



මෙහෙම සමාජයක් වෙනස් කරන්න පුළුවන් බුද්ධිමතුන්  සම්බන්ධව මාක්ස් හොඳ විග‍්‍රහයක් දීලා තියෙනවා. මාක්ස් කියනවා බුද්ධිමතුන් අයිති වෙන්නේ ඔවුන් සේවය කරන පංතියටයි කියලා. එතකොට මෙතැන පංතිය කියන එක අපි අමතක කරලා ප‍්‍රගතිශීලිත්වය සහ ප‍්‍රතිගාමීත්වය කියන දෙක ගත්තොත් මේ කතන්දරේ ඉතාමත්ම පැහැදිලියි. එතකොට ප‍්‍රගතිශීලිත්වය උදෙසා ඉදිරිපත්වෙලා ඉන්න ඒ බුද්ධිමතුන්ගේ ආර්ථික වටපිටාව හකුළුවන එක තමයි අද මහින්ද රාජපක්ෂගේ දේශපාලන ආර්ථික වැඩසටහන. මහින්දගේ මෙන්න මේ දේශපාලන ආර්ථික ව්‍යාපෘතිය වටහාගන්නේ නැතිව එක පැත්තකින් රනිල්ලා, රවිලා, හර්ෂලා, අනුර කුමාරලා, කබ්රාල්ගේ මහා බැංකු වාර්තාව අරගෙන ආණ්ඩුව පෙරළන්න බලනවා. එතකොට  අනිත් පැත්තෙන් රනිල් වැරැදියි කියපු ශිරාල්ලා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා යුරෝපයේ තිබ්බ ඒ  ආස්වාදය ලංකාවට ගෙනල්ලා රාජපක්ෂ සහෝදරයෙක්ටම ඒ පොත පිළිගන්නලා රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න උත්සහ කරනවා. මේ ඔක්කොම දැනදැනත් අපි පත්තර පිටු ගණන් ලිය ලියා පුරවැසියෝ හදන්න කතා කරනවා. 

කාටද ඇත්තටම පිස්සු?



සමන් සමරක්කොඩි.

Saturday, August 31, 2013

Hayaweni Pituwa! 3

හයවෙනි පිටුව. 3


ගිය සුමානේ මන්දනා ස්මයිල්ගේ ගෙදරට හොරු පැන්නා. ඒ ගැන එක එක්කෙනා එක එක කතා කිව්වා. ආණ්ඩුව කිව්වෙ ඒ පැන්නෙ පල්හොරු කියලා. විපක්ෂයයි, සමහර මාධ්‍ය සංවිධානයි, එන්ජී ඕ සංවිධානයි කිව්වෙ ඒ පැන්නෙ රජහොරු කියලා. මන්දනාගේ ගෙදරට පැන්නෙ කවුද කියලා හොයන්න අපට වුවමනාවක් නැහැ. නමුත් අපට ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඇයි මේ රටේ මාධ්‍යවේදීන්ගේ ගෙවල්වලට හොරු පනින්න බැරිද?


ඉන්දියාවේ ක‍්‍රිස් එකත් එක්ක ගහපු හොර ගිවිසුමක් හොරෙන් ගේන්න මහින්ද මන්දනාගේ ගෙදරට හොරු වගේ අන්දපු හමුදාවේ හොරු ටිකක් යැව්වා කියලා රනිල් මේ ළඟදී මීටිමකදී කියලා තියෙනවා. ඊට කලින් රනිල්ගෙ මහලේකම් තිස්සත් මාධ්‍ය ඉදිරියට ඇවිත් මෙන්න මන්දනාගෙ ගෙදරට හොරු පැනලෝ... අල්ලපියෝ... අල්ලපියෝ...කියලා කෑගැහුවා. මේක තමයි අද විපක්ෂයේ තත්්ත්වේ. මේ ගොන් පාට්වලින් එහාට අම්මපා විපක්ෂයට දෙයක් ඇත්තෙම නෑ.

කවුද මේ මන්දනා ස්මයිල් කියන්නෙ? සන්ඬේ ලීඩර් එකේ කර්තෘ. සන්ඬේ ලීඩර් එකේ හිටපු කර්තෘ පෙඞ්රිකා ජෑන්ස් මට මහින්දත් එක්ක මේ බඩකඩිත්තුව කරන්න බෑ කියලා දමලා ගහලා ගියාට පස්සෙ පෙඞ්රිකාගෙ තැන ගත්තු කර්තෘ. එතකොට අද සන්ඬේ ලීඩර් කියන්නෙ එදා ලසන්ත වික‍්‍රමතුංග හිටපු කාලෙ තිබුණ එකද? අද ඒක වැඩ කරන්නෙ කාටද? අද ඒකෙ එඩිටෝරියල් පොලිසි එක මොකක්ද? අද ඒකෙ වැඩ කරන්නෙ කවුද? පැහැදිලිවම අද සන්ඬේ ලීඩර් එක වැඩකරන්නෙ මහින්දට. මහින්දගෙ මිනිහෙක් තමයි සන්ඬේ ලීඩර් එකට සල්ලි දාන්නෙ. අද ඒකෙ ලියැවෙන තරමක් ලියැවෙන්නෙ ආණ්ඩුවේ ප‍්‍රශස්ති. අද සන්ඬේ ලීඩර් එකේ එදා ලසන්ත හදපු ලීඩර් එකේ හෙවණැල්ලක්වත් නෑ. අඩුම ගාණේ ලසන්ත එක්ක හිටපු පෙඞ්රිකාට අලූත් හාම්පුතා පල නොකියා පළා බෙදනකොට තම ආත්මගරුත්වය රැුකගෙන, ප‍්‍රතිපත්ති මත පිහිටා එළියට බැහැලා ගිය පෙඞ්රිකාගෙ තැනට අලූත් හාම්පුතා විසින් ගෙනාපු කර්තෘ තමයි මන්දනා කියන්නෙ. එතකොට දේශපාලන ලාභයක් අරමුණු කරගෙන ෆන්ඩ්  කරන පත්තරේක තමන්ට අවනත නැති කෙනෙක් ලොකු පුටුවක තියයිද මොළේ තියෙන හාම්පුතෙක්. විශේෂයෙන්ම ජාතික පත්තරේක කර්තෘ පුටුවක.එතකොට එහෙව් මන්දනාගේ ගෙදර තියෙන දෙයක් තමන් ළඟට ගෙන්න ගන්න මහින්ද මෙච්චර මහන්සි වෙන්න  ඕනද? ඒක ක‍්‍රිිස් ගනුදෙනුවක් හරි වෙන මොනවාහරි බඩකඩිත්තුවක් වෙන්න පුළුවන්. ඒක තමන්ගෙ ළඟට ගන්න මේ තරම් අවදානමක් ගන්න  ඕනද මහින්ද? මහින්දගෙ ආණ්ඩුව අනිත් එක හැමදාමත් පිල්ලියක් විදිහට දැක්ක පිල්ලෙ මේ රටට පය තියන්න පැය ගාණක් තියෙද්දී?’ මේ  ප‍්‍රශ්නෙ මම ඇහුවා මගේ මාධ්‍ය සගයෙක්ගෙන්. එතකොට මිනිහා කියනවා නෑ එහෙම නෙමෙයි, මන්දනා වැඩ කරන්නෙ මහින්දගෙ මිනිහෙක් යටතේ වෙන්න පුළුවන්. නමුත් මන්දනා එක්ක අත්සන් කරලා තියෙන ආයතනගත ගිවිසුම්, මන්දනාගෙ ප‍්‍රතිපත්ති, කර්තෘවරයා වශයෙන් මන්දනාට තියෙන වගකීම් වගේ දේවල් මත මන්දනාගෙන් ඒ දේවල් එහෙම ගන්න බැරිවෙන්න බැරිද?’

පෙඞ්රිකා යන පරක්කුවට පෙඞ්රිකාගෙ තැන ගත්තු මන්දනාට මගේ මිත‍්‍රයා කියන  විදිහේ ගිවිසුම්, ප‍්‍රතිපත්ති, වගකීම් තියෙන්න පුළුවන්ද? අනිත් එක මේ ප‍්‍රාග්ධනය අධිනිශ්චය වෙච්ච මාධ්‍ය කර්මාන්තය ඇතුළේ පත්තර මුදලාලි කෙනෙක් ළඟ පඩියට වැඩකරන කර්තෘ කෙනෙක්ට එහෙම සෙල්ලම් දාන්න පුළුවන්ද? එහෙම  පුළුවන්කමක් තිබුණා නම් ලලිත් අලහකෝන් තාමත් එයා වැඩ කරපු පත්තරේ කර්තෘ. මුදලාලිත් එක්ක හැප්පුණ ලලිත් අද කොහේද? මේක තමයි මේකෙ තියෙන තිත්ත ඇත්ත. ඒ හින්දා මහින්දට මන්දනා ළඟ තිබුණ දෙයක් තමන් ළඟට ගන්න වුවමනාව තිබුණා නම් මෙහෙම හොරා පොලිස් කරන්න  ඕන නෑ. ඒක බොහොම ලෙහෙසියෙන් මහින්දට කරගන්න පුළුවන්. මහින්ද දාපු සෙල්ලම් එක්ක මන්දනා කවුද මහින්දට.

හොඳයි මහින්ද මේක කළා කියමු. එහෙනම් මහින්ද මේක මේ තරම් ගොන් විදිහට කරයිද? පැන්න ගමන් අතේ පත්තු වෙන විදිහට. අවුරුදු 30ක් පුරා දිගඇදිච්ච යුද්දේ ඉදිරි ආරක්ෂක වළලූ දාලා අභ්‍යන්තර ආරක්ෂක වළලූ තරකරලා පසුපස ආරක්ෂක වළලූ හදල ගහලා දිනපු මහින්ද මන්දනාගෙ ගෙදර මෙහෙයුමට මේ තරම් අසංවිධානාත්මක විදිහට යයිද? ඔඩෙල් එකේදී මාලකට නෙලන්න ගිය උන් ටිකත් මීට වඩා සංවිධානාත්මක විදිහට ගිහින් තිබුණා. අදටත් මාලකට ගහපු උන්ගෙ ඇඩ‍්‍ර‍්‍රසුත් නෑ. උන් එච්චර සංවිධානාත්මක නම් මහින්ද කොහොම වෙන්න  ඕනද?

මහින්ද මේක කළා නම් හමුදාවෙන් පැනපු එවුන් නෙමෙයි හත්මුතු පරම්පරාවෙ හමුදාවෙ ගෑවිච්ච එකෙක්වත් මේකට ගන්නෙ නෑ. අනිත් එක තමන්ගෙ ගෙදරට කිසියම් පිරිසක් ඇතුළු වෙලා කියලා 119ට දැන්නුව මන්දනාගෙ මනුස්සයා, ගේට්ටුවෙන් ඇතුළට ආවහම තමයි දකින්නෙ ගෙයි දොර ඇරලා කියලා. එතකොට මහින්දගෙ මිනිස්සු මෙහෙයුමක් දියත් කරන තැනක එහෙම ගේට්ටුවෙන් ඇතුළට එන එකෙක්ව කුදලගෙන ගිහින් හොම්බට දෙකක් අනින්නට තරම්වත් දියුණු සැලසුමක් නැති තරමට මහින්දගෙ මෙහෙයුමත් අඳබාල වෙයිද? ඊළඟට මන්දනාගෙ මනුස්සයාගෙ ඇමැතුමට එවෙලේම එතැනට ආව 119 පොලිස් නිලධාරින්ට කැති පිහිවලින් කොටලා තමයි මන්දනාගෙ ගෙදරට පැන්න හොරු දුවලා තියෙන්නෙ. එතකොට කැති පිහි අරගෙන මේ වගේ බරපතළ මෙහෙයුමකට එන්න තරම් මහින්දගෙ මිනිස්සු දුප්පත්ද? රූකාන්තගෙයි චන්ද්‍රලේඛාගෙයි කොණ්ඩෙ කපන්න යනකොටත් 9පප පිස්තෝල, ටී56 රයිෆල් අරගෙන ගිය ජනාධිපති ආරක්ෂකයෝ හිටපු රටක ජනාධිපති මහින්දගෙ මිනිස්සු මේ වගේ  මෙහෙයුමකට කැති පොලූ අරගෙන යයිද? එහෙම ගිහිල්ලත් පැය ගණන් තේ බිබී පිළිසඳර කතා කර කර ඉඳියිද?

මේ වගේ ප‍්‍රශ්න  ගොඩක් තියෙද්දී මේ සිදුවීම වුණාට පස්සෙ අපි දකින්නෙ  මොනවාද? මන්දනා ස්මයිල් මොකුත් කියන්නෙ නැතුව තෘෂ්ණීම්භූත වෙලා බලාගෙන ඉන්නවා. මොකද එයා දන්නවා ඇත්තටම වුණේ මොකක්ද කියලා. එයා කතා නොකර ඉන්නකොට රටේම ඉන්න මාධ්‍ය සංවිධානකාරයෝ ටිකයි, එන්ජී ඕකාරයෝ ටිකයි, විපක්ෂයයි කතාකරනවා. රටේම තියෙන ගොන් කතා කියනවා. ආපු එවුන් මන්දනාගෙ ෆයිල් ඇදලාලූ. ඒ කියන්නෙ මන්දනාගෙ ගෙදර තියෙන ෆයිල් අදින්න පුළුවන් ගෙදරට හොරෙන් එන එවුන්ට විතරයි. ඒක වෙන කාටවත් කරන්න බෑ. ඊළඟට මන්දනාගෙ ගෙදරට ආපු එවුන් අතරෙ හමුදාවෙන් පැන්න එවුන් තුන්දෙනෙක් ඉන්නවාලූ. මේ රටේ  ඕන බබෙක් දන්නවා දැන් මේ රටේ අපරාධ කරනවුන් දහදෙනෙක් ඇල්ලූවොත් පස්දෙනෙක්ම හමුදාවෙන් පැනපු උන් කියලා. ඒක තමයි අද අපි අත්විඳින යුද්ධයේ අතුරුඵලය. ඒවා මුකුත් නොදන්න ගාණට අර එන්ජී ඕකාරයෝ ටිකයි, මාධ්‍ය සංවිධානකාරයෝ ටිකයි, විපක්ෂයයි පඬේ වෙඩිල්ල කරනවා. කබ්බෝ පොලිෂ් කරනවා. ලකුණු දාගන්නවා. එතකොට ඒ කියන ගොන් කතා ඔක්කොම මේ රටේ සෙනඟ පිළිගන්නවා. ඒක හින්දා මීට පස්සෙ හොරුනි, තොපි දැනගනිල්ලා වැරැුදිලාවත් මාධ්‍යවේදියෙක්ගෙ ගෙදරට පනින්න එපා. පනින්න කලින් අර තොපේ මුට්ටිය දාලා බලපල්ලා ඒ ගෙදර ඉන්නෙ මොකෙක්ද කියලා. නැත්නම් ඉතින් අපිට හැමදාමත් වෙන්නෙ මේ විනෝද සමය බලන්න.
අද ඇත්තටම මේ රටේ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් තියෙනවා. ඒක මේ මාධ්‍යවේදියකුගෙ  ගෙදරට හොරු පනිනවා වගේ සිල්ලර තැනක ලඝු කරන්න දෙන්න බෑ. මේ කොලමේ පහුගිය සතිවල ලියපු කාරණා ගැන ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් ගිය සතියේ අපට කතා කළා. ඔයා කියන දේවල් ඔක්කොම ඇත්ත. තර්කයක් තියෙනවා. පිිළිගන්නවා. නමුත් අපිට තියෙන ප‍්‍රශ්නෙ අපි කොහොමද ඔයාව රැුකගන්නෙ කියන එක. මොකද ඔයා ගහන්නෙ අපට. එතකොට දැන් ඔයාට වෙන කවුරුහරි මොනවත් කළොත් ඒක යන්නෙත් අපේ පිටින් මේක තමයි මේ වෙලාවෙ තියෙන තිත්ත ඇත්ත. ඒ භීෂණය සමාජයේ තාවකාලික  පොරක් වෙන්න හරි පිටරටක වීසා එකක් වෙනුවෙන් හරි තව එකෙක් බලය වෙනුවෙන් දකින හීනය යථාර්ථයක් කරන බළල් අතක් විදිහට පාවිච්චි කරන්න හරි ඉඩදෙන්න බෑ. මොකද කොටියා ආවෙ නැති වෙලාවෙ බොරුවට කොටියා ආවා කියලා කෑගැහුවාම ඒකට රැුවටිච්ච උන් ඇත්තටම කොටියා ආව වෙලාවෙදි පැත්තවත් බැලූවේ නැති කතාව අපි හොඳට දන්න නිසා.


එතකොට ලංකාවෙ විපක්ෂය මේ පාරත් මහින්දගෙ ලණුව හොඳට කෑවා. ඒ නිසා තමයි අපි හැමදාමත් කියන්නෙ මේ ගේම් එක මහින්ද තාමත් හොඳට සෙල්ලම් කරනවා කියලා. දැන් එතකොට මේ රටේ විපක්ෂයට, සිවිල් සංවිධානවලට, එන්ජී ඕවලට ඇතැම් සමාජ ක‍්‍රියාකාරින්ට අනුව අද ලංකාවෙ මාධ්‍යයට තියෙන ලොකුම තර්ජනය තමයි මාධ්‍යවේදීන්ගෙ ගෙවල්වලට ?ට හොරු පනින එක. දැන් මරා දැමූ මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. අතුරුදන් වෙච්ච මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. තර්ජනයට ලක්වෙච්ච මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. ගුටිකාපු මාධ්‍යවේදීන් ගැන කතාවක් නැහැ. ලියන්න කියන්න තියෙන නිදහසට ඇති බාධාවන් ගැන කතාවක් නැහැ. ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස් ඇවිත් ඉන්න වෙලාවෙ මේ රටේ ප‍්‍රධාන විපක්ෂය මහලේකම්ට  සහ විපක්ෂ නායකයාට මාධ්‍ය ගැන තිබිච්ච ලොකුම චෝදනාව තමයි මාධ්‍යවේදිනියකගේ ගෙදරට හොරු පැන්න කතාව.
මේක තමයි මහින්දටත් කෙරෙන්න  ඕන. හැමදාම වගේ විපක්ෂය මේ පාරත් මහින්දට  ඕන දේ ගාණට කරලා දුන්නා. ලංකාවෙ විපක්ෂයට තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි තමන්ගෙ කිියලා සටන් පාඨ නැති එක. එතකොට මහින්ද කරන්නෙ කාලෙන් කාලෙට විපක්ෂයට ඇදගෙන යන්න සටන්පාඨ හදලා දෙන එක. මොකක්හරි ආණ්ඩුවට රිදෙන ලොකු ඉෂූ එකක් ආව හැම වෙලාවෙම මහින්ද ඒක නියමෙට කරනවා. අපිට මතකයි උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවා හැමෝටම දේශපාලනය කරන්න නිදහස තියෙනවා කිව්ව වෙලාවේ දකුණේ වාමාංශික කොටස් ගියා උතුරේ දේශපාලනේ කරන්න. ඒ වෙලාවේ උතුරේ තරුණයන්ගේ ආදරේ දිනාගත්ත ලලිත් කූගන් අතුරුදන් වුණා. එතකොට විපක්ෂයට අමතක  වුණා උතුරේ දේශපාලනේ, එතැන ඉඳලා විපක්ෂයේ සටන් පාඨය වුණේ ලලිත් කූගන් ගැන. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන රටේ කතාබහක් ඇතිවුණ වෙලාවේ බොදු බල සේනාව මුස්ලිම් කඩවලට ගහන්න පටන්ගත්තා. විපක්ෂයට 13 අමතක වුණා. එතැන ඉඳලා විපක්ෂයේ සටන් පාඨය වුණේ  බොදු බල සේනාව.

ඒ ගේම ජිනීවාවල අපට විරුද්ධව යෝජනාවක් ගේන්න සූදානම් වෙච්ච වෙලාවේ ආණ්ඩුව එකපාරටම කැබිනට් සංශෝධනයක් ගෙනාවා. එතැන ඉඳලා විපක්ෂයේ සටන් පාඨය වුණේ ජිනීවා නෙවෙයි කැබිනට් සංශෝධනය. ඒ වගේම අපිට විරුද්ධව ජිනීවා යෝජනා සම්මත වෙච්ච වෙලාවේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ඝාතකයන් ගැන කතාවක් ඇද්දා. විපක්ෂයට ජිනීවා අමතක වුණා. ආර්ථික ඝාතකයා සටන් පාඨය වුණා. ඊට පස්සෙ ශිරාණි බණ්ඩාරනායකට දෝෂාභියෝගේ ගෙනාව වෙලාවේ නීතියේ ස්වාධීනත්වය බරපතළ තර්ජනයකට ගිය වෙලාවේ විපක්ෂයේ සටන් පාඨය වුණේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ වාඩිවෙනවාද නැද්ද කියන එක. ඒ වගේම තමයි රතුපස්වල ජල ප‍්‍රශ්නය ආව වෙලාවේ වතුර ඉල්ලලා සටන් කරපු මිනිස්සු වෙඩි කාපු වෙලාවේ විපක්ෂය දන්නෙම නැතුව විපක්ෂයේ සටන් පාඨය කිරි පිටි වුණා. විදුලිබිල ඉහළ ගිය වෙලාවෙ වැඩිවුණ විදුලිබිල නෙවෙයි විපක්ෂයට දැනුණෙ, අසාද් සාලිව අත්අඩංගුවට ගත්ත එක. මේ විදිහට මහින්ද ආණ්ඩුවට බරපතළ විදිහට ගහන්න පුළුවන් ඉෂූ ආපු හැම වෙලාවකම ගාණට විපක්ෂය ඇන්දුවා. මේ වෙලාවෙත් මහින්ද විපක්ෂයට රෙදි ටික පෙන්නුවා විතරයි විපක්ෂය ඒ රෙදි ටික අරගෙන ගාණට කපලා මහලා ඇඳගත්තා. අද විපක්ෂෙට ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස් ආව වෙලාවෙ රටේ මාධ්‍ය ගැන කියන්න තිබුණෙ මාධ්‍යවේදීන්ගේ ගෙවල්වලට හොරු පනිනවා වහාම ඒ ගැන හොයන්න කියලා විතරයි. මීට කලින් මේ රටේ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් මුහුණදුන්නු බරපතළ කාරණා ගැන වගේ වගක් නැතිවුණා.  දැන් පිල්ලේ ගිහින් ලෝකෙට කියයි ලංකාවෙ ඔය කියන තරම් ලොකු ප‍්‍රශ්න නැහැ.

මාධ්‍ය සම්බන්ධයෙන් වුණත් තියෙන්නෙ මාධ්‍යවේදීන්ගෙ ගෙවල්වලට කැති පිහිගත්ත අහිංසක හොරු පනින එක විතරයි. ඒ පැන්නත් මහින්දගෙ පොලීසිය සැණින් එසැණින් ඒ හොරු ටික අල්ලනවා. ඒ තරම් නීතියක්, සාමයක් යහපාලනයක් තියෙන මෙවන් ආශ්චර්යවත් රටක් වෙන කොහෙන්දා? කියලා.



එතකොට අපිට ඉතිං හායි හායි හිප්පි හිප්පු රා.....


සමන් සමරක්කොඩි.

Happy Alphabet



සතුටේ හෝඩිය




A- Accept

(පිළිගන්න)

පිළිගන්න, අනෙකා සහ ඔවුන්ගේ විවිධත්වය. ඔයාට තේරුම් ගන්න අමාරු අවස්ථාවලදී පවා ඔවුන්ගේ විශ්වාසයන්, අදහස් සහ කි‍්‍රයාකාරකම්.



B- Break away

(අතහරින්න)

ඔයාගේ ජීවිතේ බලාපොරොත්තු ඉටුකරගැනීමට යන පාරේ අතරමඟදී මුණගැසෙන සියලූ බාධා කරන්නන් අතහරින්න.



C- Create

(හදාගන්න)

හදාගන්න පවුලක් වගේ යාළුවෝ පිරිසක්්. ඔයාට ඔයාගේ බලාපොරොත්තු සිහින, දුක සහ සතුට 

බෙදාගන්න පුළුවන්. 



D- Decide

(තීරණය කරන්න)

මොනවා වුණත් ඔයා සාර්ථකත්වය සහ සතුට ළඟා කරගන්නා බවත් සිදුවන්නා වූ සෑම දෙයක්ම ඔයාගේ වාසියට සිදුවන බවටත් තීරණය කරන්න. මාර්ග බාධක කියන්නේ දීර්ඝ ගමනකදී අපට හමුවෙන ඉතාමත් සුළු කටුකොහොල් විතරයි. 



E- Explore

(ගවේෂණය කරන්න)

ලෝකය ඔයාට හුඟාක් දේවල් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔයත් මේ ලෝකෙට යමක්් දිය යුතුයි. හැමවිටම උත්සහ කරන්න අලූත් දෙයක් කරන්න. එහෙම කරනකොට ඔයාට ඔයා තුළින්ම හුඟක් දේවල් ගවේෂණය කරන්න පුළුවන්. 



F- Forgive

(සමාව දෙන්න)

සමාව දෙන්න, අමතක කරන්න. කෝන්තර කියන්නේ ඔයාව අඩපණ කරන අමතර බරක් වගේම අසතුට සහ දුක හිතට කාවද්දන උගුුලක්්. හැකි ඉක්මනින් ඊට උඩින් ඉඟිල යන්න. අමතක කරන්න එපා හැමකෙනෙක්ගෙන්ම අඩුපාඩු විය හැකි බව. 



G- Grow

(වැඩෙන්න)

පුංචි කාලේ ඔයාව බයකරපු යක්කුන්ව එළවලා දාන්න. උන්ට තවදුරටත් ඔයාව බය කරන්න දෙන්න එපා. වැඩෙන්න, ඔයාගේ ගමන යන්න පටන් ගන්න.



H- Hope

(බලාපොරොත්තු වෙන්න)

අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තුවක් 

තියාගන්න. ඒ වගේම ඔයාගේ ඉලක්කය කරා යන්න අවශ්‍ය කැපවීම රඳවා තබා ගැනීමට උපකාරී වන කිසිම දෙයක් කවදාවත් අමතක කරන්න එපා. 





I- Ignore

(නොසලකා හරින්න)

ඔයාගේ අභ්‍යන්තරයෙන් ඇහෙන ඍණාත්මක හඬ නොසලකා හරින්න. නිරතුරුවම ඔයාගේ අරමුණ කෙරෙහි ඉලක්කගත වෙන්න. මතක් කරගන්න ඔයා විසින් ඉෂ්ට කරගැනීමට ඇති අභිමතාර්ථ ගැන. ඔයාගේ අතීත ජයග‍්‍රහණ කියන්නේ අනාගතයේදී ඔයා අල්ලගන්න යන තැන ගැන කරන සුළු ඉඟියක් විතරයි.



J- Journey

(සංචාරය කරන්න)

සංචාරය කරන්න අලූත් ලෝකවල, අලූත් හැකියාවන්වල, විවෘත මනසකින්. හැමදාම අලූත් දෙයක් ඉගෙනගන්න උත්සහ කරන්න. ඔයාටත් නොදැනීම ඔයා වර්ධනය වේවි. 



K- Know

(අවබෝධ කරගන්න)

ඔයා ඉදිරියේ කොයිතරම් නරක දේවල් පෙනෙන්න තිබුණත් ගණන් ගන්න එපා. මොකද නරක දේවල් පිටිපස්සේ තමයි නිතරම හොඳ දේවල් තියෙන්නේ. අවබෝධ කරගන්න වසන්තයේ උණුසුම හැමදාමත් එන්නේ කටුක සීත ඍතුවෙන් පස්සේ කියන එක.



L- Love

(ආදරය කරන්න)

වෛරය වෙනුවට ඔයාගේ හදවතේ ආදරය පිරෙන්න ඉඩදෙන්න. ඔයාගේ හදවතේ වෛරය තියෙන විට වෙනත් කිසිම දේකට ඒ හදවතේ ඉඩ නැහැ. නමුත් ඔයාගේ හදවත ආදරෙන් පිරිලා තියෙනකොට නිමක් නැති සතුටට එතැන ඕනෑතරම් ඉඩ තියෙනවා. 



M- Manage

(කළමනාකරණය කරන්න)

ඔයාගේ කාලය සහ වියදම් බුද්ධිමත් ලෙස කළමනාකරණය කරන්න. ආතතිය සහ කනගාටුවෙන් විඳවන ජීවිතයෙන් මිදෙන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි ඔයාගේ ජීවිතේ වඩා වැදගත් දේවල් ගැන හිත යොමු කරන්න. 



N- Notice

(සලකන්න)

නොසලකා හරින්න එපා කවදාකවත්ම දුප්පතුන්, අසරණයන්, බෙලහීනයන්, දුබලයන් හෝ වේදනා විඳින්නන්. නිරතුරුවම උත්සහ කරන්න ඔවුන්ව තේරුම්ගන්න. ඔයාට හැකි සෑම අවස්ථාවකදීම කරුණාවෙන් ඔවුන්ට සලකන්න. 



O- Open

(විවෘත කරන්න)

ඔයාගේ දෑස් විවෘත කර අවට ඇති සියලූම සුන්දර දේවල් ඔයා තුළට ගන්න. ඔයාට පෙනේවි ඉතාමත්ම නරක කාලයකදී වුවත් ස්තූතිවන්ත වෙන්න පුළුවන් හුඟාක් දේවල් ඉතිරිවෙලා තියෙන බව. 



P- Play

(සෙල්ලම් කරන්න)

මේ පාරදිගේ යනකොට සෙල්ලම් කරමින් සන්තෝෂ වෙන්න අමතක කරන්න එපා. මොකද සන්තෝෂයෙන් තොර සාර්ථකත්වයක් කොහෙවත් නැහැ. 




Q- Question

(ප‍්‍රශ්න කරන්න)

නිරන්තරයෙන්ම ප‍්‍රශ්න කරන්න. මන්ද ඔයා මෙහි සිටින්නේ ඉගෙනගැනීම සඳහා. 



R- Relax

(සැහැල්ලූ වන්න)

කනගාටුවට සහ ආතතියට ඔයාගේ ජීවිතේ පාලනය කරන්න දෙන්න එපා. සැහැල්ලූ වෙන්න. මතක තියාගන්න සෑම ක‍්‍රියාවලියකම අවසානයක් තිබෙන බව. 



S- Share

(බෙදාගන්න)

ඔයාගේ දක්ෂතාවන්, හැකියාවන්, දැනුම, කාලය අන් අය සමග බෙදාගන්න ලෝබවෙන්න එපා. ඔයා අන් අය වෙනුවෙන් කරන සෑම ආයෝජනයක්ම ඔයාට අවස්ථා ගණනාවකදීම ලාභ ගෙන දේවි. 



T- Try

(උත්සහ කරන්න)

ඔයාගේ සිහින සැබෑ කරගැනීමට නොහැකි යැයි පෙනෙද්දී පවා කුමන ආකාරයෙන් හෝ ඒ සඳහා උත්සහ කරන්න. ඔයාට කිරීමට හැකි දේ ඔයාවම පුදුමයට පත්කරාවි. 



U- Use

(පාවිච්චි කරන්න)

ඔයාගේ විශිෂ්ට හැකියාවන් පාවිච්චි කරන්න. අපතේ ගිය දක්ෂතාවන්ගේ වටිනාකමක් නෑ. ඔයාගේ දක්ෂතා ගොනු කරගන්න. ඒක ඔයා බලාපොරොත්තු නොවූ 

ත්‍යාගයක් වේවි.



V- Value

(අගේ කරන්න)

ඔයාව ධෛර්යවත් කරන සහ ඔයාට උදව් කරන ඔයාගේ හිත මිතුරන් සහ පවුලේ අය අගේ කරන්න. ඒ වගේම හැකි සෑමවිටම ඔවුන් සමග ඉන්න.



W- Work

(වැඩ කරන්න)

ඔයාට යන්න පුළුවන් ඉහළම තැනට යන්න දිනපතාම මහන්සිවෙලා වැඩ කරන්න. නමුත් ඒ මඟින් ඔයාගේ ඉලක්කයට යාමට නොහැකි වුණොත් කිසිවිටෙකවත් අධෛර්යවත් වෙන්න එපා. කන්දක් නැංගොත් පල්ලමකුත් හම්බවෙන බව මතක තියාගන්න.



X- X-Ray

(විනිවිද දකින්න)

ඔයාගේ වටේට ඉන්න පුද්ගලයන්ගේ හදවත් ඇතුළාන්තය ගැඹුරට විනිවිද දකින්න. ඒ තුළින් ඔයාට පෙනේවි යහපත්බව සහ සුන්දරත්වය. 



Y- Yield

(උපයන්න)

ඉපැයීම කැපවීම මත වේ. ඔයා පාරේ ඉන්නේ ඒකායන කැපවීමකින් නම්, පාර ඉවර වෙනකොට ඔයාට සාර්ථකත්වය ලැබේවි.



Z- Zoom

(නාභිගත කරන්න)

අඳුරු මතකයන් හෝ දුක ඔළුව උස්සනකොට ඔයාගේ හිත ඔයා ගතකළ සුන්දර තැන්වලට ගෙනියන්න. ඔයාගේ ගමනට බාධාකරන්න කිසි දේකට ඉඩදෙන්න එපා. ඔබේ හැකියාවන් සහ ඔබේ සිහින, දීප්තිමත් හෙට දවසක් සඳහා නාභිගත කරන්න.










හිතන්න,
මේ සතිය පුරාවටම.

සමන් සමරක්කොඩි.